ජනාධිපති ලෝක නායකයන්ට දේශනා පවත්වද්දී රට දවස ගානේ අමාරු තැනකට තල්ලුවෙනවා – සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

52

ආණ්ඩුව බදු ගෙවන අය අතහැර රටේ ජනතාවට බදු ගසමින් සිටිනවා

ජනාධිපතිවරයා සුමාන දෙකකට සැරයක් කොහේ හෝ වෙනත් රටකට ගොස් ලෝක නායකයන්ට දේශනා පවත්වන නමුත් මෙරට තත්ත්වය එන්න එන්නම අමාරු තැනකට දවස ගානේ තල්ලු වේගෙන යනවා යැයි සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

වත්මන් ජනාධිපතිතුමා සුපුරුදු පරිදි විදේශීය සංචාර කරන්න පටන් අරගෙන තියෙනවා. අපි දැක්කා එතුමා පසුගියදා ජපානයේ ගිහිල්ලා ආසියානු කලාපීය රටවල්වල නායකයන්ට ලොකු දේශනා දුන්නා. ලෝකය පාලනය කරන්න ඕන විදිය පරිසරය ආරක්ෂා කරන්න ඕන විදිය නොයෙකුත් දේශනා ලෝක නායකයන්ට දෙනවා. ලෝක නායකයන්ට දේශනා දෙන ජනාධිපතිතුමාට බැරිවෙලා තිබෙනවා තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දේශනා දීලා මේ ආණ්ඩුව ජනතාවගේ පැත්තට හරවාගෙන ජනතාවට වුවමනා දේවල් ටික ලබා දෙන්න. මොකද අපට පේන්න තියෙන දේ තමයි මේ ආණ්ඩුවේ තිබෙන වංචා දූෂණ විතරක් නෙමෙයි ආණ්ඩුවේ තිබෙන නොහැකියාව හා අසාර්ථක භාවය අක්‍රමිකතා හැම එකක්ම දවසින් දවස වැඩි වෙන ස්වරූපය නමුත් ඒ සියලු දේවල් ජනාධිපතිතුමා නොදැක්කා වගේ ඉන්නවා. ඒ ඉඳලා ජපානයට ගිහිල්ලා ලෝක නායකයන්ට දේශනාවල් දෙන එක තමයි අපිට පේන්නේ.

අපි බැලුවොත් මේ රටේ වංචා දූෂණ ඉහවහා ගිහින් තියෙනවා එහිදී විශේෂයෙන්ම චීන රටින් ගෙනාපු අසූචි පොහොරවලට ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඒ වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට සභාගත කරන්නෙත් නැහැ එළියට දාන්නෙත් නැහැ. ඒක පැත්තකින් ආණ්ඩුව කතා කරනවා වංචා දූෂණ පනතක් ගැන අධිකරණ ඇමතිතුමා කියනවා. වංචා දූෂණ වගේ පනත ගෙන ගමන් කියනවා ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධව හෙළි වෙච්ච වාර්තා ටික එලියට දාන්නේ නැහැ. චීන අසූචි පොහොරවලට ඩොලර් මිලියන 6.9 ක් ගෙවලා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒ වගේම අද මේ ආණ්ඩුවට විරුද්ධ වූ වංචා දූෂණ කොමිසම තුළ විශාල ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව චෝදනා ගොනු කරල තියෙනවා. එක පැත්තකින් මැති ඇමතිවරුන්ට තිබෙන අල්ලස් දූෂණ කොමිසම දාපු නඩු ඉවත් කරමින් පවතිනවා. හරියාකාරව ඒ නඩු ගොනු කර ෆයිල් කරලා නැහැ. උසාවියේ දී ඒවා හෙළිදරව් වුණාම ඒ නඩු අයින් කරගන්නවා. ඒවා නැවත පැවරුවේ නැහැ. තාක්ෂණ කරුණු කාරණා අනුව ඒවා අයින් කරගෙන තියෙනවා. මේ විදියට විශාල ලෙස ආණ්ඩුව හා සම්බන්ධව ඉන්න පිරිස් වලට එරෙහිව වංචා දූෂණ දවස ගානේ වැඩිවෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්ක ආපු එකඟත්වය තුළ ප්‍රධාන කාරණාවක් තමයි වංචාව දූෂණය සම්බන්ධව. නමුත් මේ ප්‍රධාන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා පහුගිය අවුරුද්දේ අය කරගන්න ඕන ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 940 අයකරගෙන නැති බව එසේ අයවිය යුතු බදු අයකර ගන්නැතුව ජනතාවට එදිනෙදා ගහන බදු මුදල් වල කිසිදු ආකාරයේ අඩු වීමක් නැහැ. ඒවා දවස ගානේ වැඩිවෙනවා ජනතාවගේ පිට පටවන බර ප්‍රමාණය කිසිම අඩු කිරීමක් නැහැ. මැති ඇමැතිවරුන් හැමදාම පාර්ලිමේන්තුවට ගෙනල්ලා බදු පනත් ඉදිරිපත් කරලා වැඩි කරගෙන යනවා. නමුත් රජයට අයවිය යුතු බදු ප්‍රමාණය අයකර ගැනීම සඳහා වූ කිසිදු ආකාරය වැඩපිළිවෙළක් ආණ්ඩුව යොදවන්නේ නැහැ. එසේ බදු ගෙවන එක අත හැරල දාල තියෙන්නේ සමහර විට තමන්ට උදව් කරපු හිතවතුන් ද දන්නේ නැහැ. ජනාධිපති මැතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුවට උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බදු මුදල් ද දන්නෙ නැහැ බිලියන 940 ක් අය කරගෙන නැත්තේ. ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

ඒකයි මම කිව්වේ ජනාධිපති ලෝක වටේ යනවා ලෝක නායකයන්ට දේශනා දෙනවා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අක්‍රමිකතා ගැන ඔවුන්ගේ අලස ක්‍රියාකලාපය ගැන නිලධාරීන්ගේ අලස ක්‍රියාකලාපය ගැන තමන් යටතේ පවතින දෙපාර්තමේන්තු වල කිසිදු ආකාරයේ ඒවා අයකර ගන්න ක්‍රියාමාර්ග ගැන ජනාධිපතිතුමා කතා කරන්නේ නෑ. ඒ වෙනුවට ජනාධිපතිතුමා සුමාන දෙකකට සැරයක් කොහේ හරි රටකට ගිහිල්ලා ලෝක නායකයන්ට දේශනා පවත්වනවා නමුත් මේ රටේ තත්ත්වය එන්න එන්නම අමාරු තැනකට දවස ගානේ තල්ලු වේගෙන යනවා. ඒවාට විකල්ප ක්‍රියාමාර්ග අරගෙන නැහැ. අපිට තියෙන ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ දූෂිත වූ අක්‍රමිකතා වලින් ඉහළ ගිය පොහොට්ටුවේ ආණ්ඩුවත් එක්ක ද මේ ගමන යන්නේ කියන එක. පොහොට්ටුව නගා සිටුවන්න ද ජනාධිපතිතුමා ඔවුන්ගේ අක්‍රමිකතා හා වංචා දූෂණ ගැන හොයන්නේ බලන්නේ නැතුව නොදැක්කා සේ ඉන්නේ. ඔවුන්ව නැවත නැගිට්ටවන්න ද ඔවුන් සමග ජනාධිපතිවරයා නැගිටින්න ද කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා ප්‍රථමයෙන් තමන් නියෝජනය කරන ආණ්ඩුව තුළ තිබෙන අක්‍රමිකතා අකාර්යක්ෂමතාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ පිළිබඳව ඔවුන්ට උපදෙස් දීලා මේ රටේ ජනතාවට මේ පාලන කාලය තුළ යම් සහනයක් ලබා දෙන්නාවු ක්‍රියාමාර්ගයකට යන්න කියලා ජනාධිපතිතුමාට කියනවා.

ඒ වගේම පළාත් පාලන මැතිවරණය සම්බන්ධව විශාල ලෙස අද වෙනකොට අධිකරණය නඩු දෙකක් විභාග වෙමින් පවතිනවා. අපිට පේනවා මේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය හා ඊළඟට පළාත් සභා මැතිවරණය දෙකම තියන්නේ නැති කාලය ඉක්මවා ගියපු නිසා රටේ පරිපාලනමය හා ඒ හා සම්බන්ධ ආයතනවල විශාල ගැටලු මතු වෙලා. මොකද දැන් පළාත් සභා මැතිවරණය අවුරුදු හතරකට වඩා වැඩි කාලයක් පවත්වන්නෙ නැතිව පළාත් සභාව යටතේ තියෙන පාසල් පද්ධතිය සෞඛ්‍ය පද්ධතිය ග්‍රාමීයව තිබෙන ඒ පරිපාලන ක්ෂේත්‍රයේ ආයතන රාශියක් අද වෙනකොට ඉතාම දරුණු ලෙස කඩාගෙන වැටීමට ලක් වෙලා. විශේෂයෙන්ම පළාත් සභාවත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන පාසල් වල තත්වය ඉතාමත් දරුණු තැනකට තල්ලු වෙලා. පළාත් සභා ක්‍රියාත්මක නොවීම නිසා ගුරු හිඟය හා පාසල්වල තිබෙන අනෙකුත් භෞතික සම්පත්වල ප්‍රශ්න ගොඩනැගිලි ප්‍රශ්න රාශියකට පළාත් සභාවට සමාන රෝහල් තදබල ලෙස අර්බුදයට ලක් වෙලා ඒ රෝහල් වල පරිපාලනය කඩා වැටිලා ඒ වගේ යන රෝගීන්ට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න බැරි රෝහල් බවට පළාත් සභාවත් එක්ක සම්බන්ධ රෝහල් ටික පත්වෙලා තියෙනවා.

අපි දන්නවා කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපති නිල නිවසෙන් ඉන්නවා අයින් වෙලා නැහැ. එක මාසෙක ලයිට් බිල ලක්ෂ 4යි මාස දෙකට ලක්ෂ 8යි. එහිදී අපි ප්‍රශ්න කරනවා කොළඹ නගර සභාවෙන් ඒ ලක්ෂ 8 ජනතාවගේ බදු මුදල් වලින් ද ගෙවන්නේ. දැන් කාලෙ ඉවරයි නගරාධිපති තුමිය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂිකාවක් හැටියට තරග කරනවා. වහාම එතනින් ඉවත් වෙන්න ඕන. තවම බදු මුදල්වලින් එතුමියව නඩත්තු කිරීම නීති විරෝධියි. කොළඹ නගරයේ බදු ගෙවන ජනතාවට කරන අපහාසයක් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment