සිංහබාහු ජනප්‍රවාදයට වෙනස් අර්ථකතනයක් දෙමින් ආචාර්ය සෝමරත්න සිංහබාහු සිනමාවට නගයි

1452

ආචාර්ය සෝමරත්න දිසානායක අභියෝගාත්මක සිනමා නිර්මාණයක් සඳහා මුල පුරා ඇත. අපිට එය සැළවන්නේ ඔහු “සිංහබාහු” සිනමාවට නැගීමට සැරසෙනවා යනුවෙන්ය. සිංහබාහු කියූ සැණින් කාටත් මතක් වන්නේ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයයි. දඹදිව වංග රාජ්‍යය සහ මගධය අතර වනාන්තරයේ දිගහැරෙන සිංහබාහු කතාව සරච්චන්ද්‍රයන් වේදිකා නාට්‍යට පාදක කරගෙන ඇත. සෝමරත්න දිසානායකයන් පුළුල් රිදී තිරය මත නිර්මාණය කරන්නෙ එම කතාවමද? කා තුළත් ඇති වූ එම කුහුල “සිංහබාහු” රූගත කිරීම අභිමුව හිඳ සෝමරත්න දිසානායකයන් දුරලන්නේය.

“මම සිංහබාහු චිත්‍රපටය නිර්මාණය කරන්නෙ අපේ ජනප්‍රවාදයේ පවතින සිංහබාහු කතාව පාදක කරගෙන. සරච්චන්ද්‍ර මහත්තයගේ සිංහබාහු නාට්‍යය මේ සිනමා නිර්මාණයට කිසි ලෙසකින් පාදක වෙන්නෙ නෑ. හැබැයි සරච්චන්ද්‍ර සර් සිංහබාහු නාට්‍යය කරල තියෙන්නෙත් සිංහබාහු ජනප්‍රවාදය පාදක කරගෙන. ඒ නිසා මේ දෙකේම තියෙන කතා වස්තුව එකයි. නමුත් මම මේ සිනමා නිර්මාණයේදී මේ ඉදිරිපත් කිරීමත් එක්ක එන අර්ථකථනය වෙනස්.” යැයි සෝමරත්න දිසානායක පවසන්නේය.

සිංහබාහු නාට්‍යයෙන් මෙම සිනමා නිර්මාණය වෙනස් වන්නේ කෙසේද යන්න ගැනත් දිසානායකයන් මෙලෙස පැහැදිලි කිරීමක් කරන්නේය.

සිංහබාහු ජනප්‍රවාදයට වෙනස් අර්ථකතනයක් දෙමින් ආචාර්ය සෝමරත්න සිංහබාහු සිනමාවට නගයි

“ජනප්‍රවාදයේ පවතින සිංහබාහු කතාවේ සමහර දේවල් මම කොහොමත් පිළිගන්නෙ නෑ. ඒවා හරිම අභව්‍යයි සහ අසත්‍යයි. සිංහයා කියන්නෙ තිරිසන් සතෙක් කියන එකත් අයියයි නංගියි එකතු වෙලා විවාහ ජීවිතයක් ගත කරනවා කියන එකයි කාගේ හෝ රචනාවක්නෙ. ඉතිහාස තොරතුරක් නෙවෙයි. ඒ විදියටම කතාව චිත්‍රපටයෙදි මම ඉදිරිපත් කරන්නෙ නෑ. ඉදිරිපත් කිරීමේ රටාවත් ඇතැම් චරිතත් සිනමාපටයෙදි මම වෙනස් කරනවා.”

ජනප්‍රවාදයේ එන ප්‍රධානම චරිතය සත්වයෙක්. චිත්‍රපටයෙදි ඒක වෙනස් වෙනවද?

ඔව් චිත්‍රපටයෙදි එම චරිතය සත්ව වේශයෙන් නෑ. නමුත් එයාව හඳුන්වන්නෙ සිංහ කියන නමින්. ඔහු තමයි ගෝත්‍රයේ රජ්ජුරුවෝ.

සිංහල ජාතියේ ආරම්භය සේ සැලකෙන්නෙ විජය රජ්ජුරුවෝ. විජයගේ පියා. ඒ නිසා මේ චිත්‍රපටය ඔස්සේ එම මතයත් අභියෝගයකට ලක්කරනවා නේද?

කාටවත් කිසිවක් අභියෝග කිරීමේ චේතනාවෙන් නෙවෙයි සිංහබාහු පටන් ගත්තෙ. නමුත් ඕනෑම නිර්මාණකරුවෙකුට අයිතියක් තියෙනවා කතාවක් වෙනස් කිරීමට. එය සත්‍ය කතාවක් නම් වෙනස් කිරීමේ අයිතියක් නෑ. මේක ජනප්‍රවාදයේ එන කතාවක් නිසා වෙනස් කරන්න පුළුවන්. මෙතනදි මම ඉදිරිපත් කරන්නෙ මගේ අර්ථකථනය. ඒක පිළිගන්න එක නොගන්න එක ප්‍රේක්ෂකයට අයිතියි” යනුවෙන් සෝමරත්න දිසානායකයන් අවසානයේ පැවසුවේය.

ලබන 11 වැනිදා රූගත කිරීම් ආරම්භ වන සිංහබාහු සිනමාපටය සීගිරිය, දඹුල්ල, හත්තිකුච්චි සහ මහවැලි අසුපිනි ඇල්ල ආශ්‍රිත වනාන්තරයන්හි රූගත කිරීමට සැලසුම් කර ඇත. ජැක්සන් ඇන්තනී, යශෝධා විමලධර්ම, සජිත ඇන්තනි, අකිල ඇන්තනි, දුෂේනී සිල්වා, සිනේති අකිලා, අශාන් ඩයස් ඇතුළු තවත් ශිල්පීන් රැසක් චරිත නිරූපණය කරන සිංහබාහු කැමරා අධ්‍යක්ෂණය කරන්නේ විශ්ව බාලසූරිය විසිනි. ආචාර්ය සමන් පනාපිටියගේ සංගීතයෙන් හැඩ වන සිංහබාහු නිෂ්පාදනය රේණුකා බාලසූරිය විසින් සිදු කරනු ලබයි.

  • තිස්ස
සිංහබාහු ජනප්‍රවාදයට වෙනස් අර්ථකතනයක් දෙමින් ආචාර්ය සෝමරත්න සිංහබාහු සිනමාවට නගයි
advertistmentadvertistment
advertistmentadvertistment