විවාහ වී දින කීපයයි බිරිඳ මරා නිවස අසල වළදැමූ සැමියා අල්ලයි

1206

විවාහ වී මාසයක් ඉක්ම යෑමටත් පෙර සිය බිරිඳ මරා නිවස අසලම වළදමන ලද මුලතිව්, මුල්ලියාවලෙයි ප්‍රදේශයේ ස්වාමි පුරුෂයකු පොලිසිය විසින් පෙරේදා (24 දා) කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව්, මුල්ලියාවලෙයි, වාප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී. ගීතා නමැති කාන්තාව මරා නිවස අසලම වළදමා තිබියදී මුල්ලියාවලෙයි පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් මියගිය කාන්තාවගේ මළසිරුර ගොඩගෙන තිබේ.

මේ කාන්තාව මීට සති තුනකට පමණ ඉහතදී මුලතිව් කුමරපුරම් ප්‍රදේශයේ තරුණයකු සමග විවාහ වී දින කීපයකට පසුව කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචියට පැමිණ තිබේ. එදා සිට ඇය සිය මවට දුරකතනයෙන් දිනපතාම කතා කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් ඇතත් පසුගිය 21 වෙනිදායින් පසුව මවට ඇගෙන් කිසිදු ඇමතුමක් ලැබී නොමැත. මව විසින් දුරකතන අමතුම් ලබා ගන්නා සෑම

අවස්ථාවකදීම ඇගේ දුරකතනය විසන්ධි වී තිබීම නිසා මව ඇයව බැලීමට කුළී නිවස වෙත ගොස් තිබේ.

ඒ අවස්ථාවේදී නිවසේ කිසිවකු සිට නොමැති අතර මව ඒ අවට සෝදිසි කිරීමේදී අලුතින් කපන ලද වළක් පස්වලින් වසා දමා තිබෙනු දැක ඇත. සිද්ධිය ගැන සැක සිතු මව මුල්ලියාවලෙයි පොලිසියට මේ බව පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ වළ පරීක්ෂා කිරීමේදී මරා වළදමන ලද කාන්තාවගේ මළ සිරුර හමු වී තිබේ. පැමිණිලිකාරියගේ දියණිය ස්වාමිපුරුෂයා සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් පසු සැමියා විසින් ඇයව ඝාතනය කර ඇතැයි සිදුකරන ලද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. ඝාතනය කරන ලද සැකකරුගේ වයස අවුරුදු 23 කි. මේ සම්බන්ධයෙන් පොලිසිය මුලතිව් මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසුව ස්වාමියා අත්අඩංගුවට ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගකොට තිබේ. ඒ වනවිට කොළඹ වැල්ලම්පිටියට ගොස් සිටි ස්වාමියාව මුල්ලියාවේලී පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ලබාගත් රැඳවුම් නියෝගයක් මත මුල්ලියාවේලී පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment