මරකාස් නුවර ජය නැංවූ පැරා ශූරයෝ දිවයිනට එති

100

මොරොක්කෝ රාජ්‍යයේ පැවති 04 වන ලෝක පැරා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01 දා ) උදෑසන දිවයින වෙත පැමිණියහ.

මෙම තරගාවලිය මොරොක්කෝ රාජ්‍යයේ මරකාස් නුවර ඉකුත් 26දා සිට 28දා දක්වා ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී ජනනි ධනංජනා ටී.- 47 කාණ්ඩයේ තරග කරමින් මීටර් 100 ධාවන ඉසව්ව සඳහා සහ සමිත දුලාන් ටී.- 44 කාණ්ඩය යටතේ තරග කරමින් හෙල්ල විසි කිරීම සඳහා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එසේම ප්‍රදීප් සෝමසිරි ටී.- 46 කාණ්ඩයේ මීටර් 1,500 ධාවන ඉසව්ව සඳහා ද, අනිල් ජයලත් ටී.- 42 කාණ්ඩයේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා සහ ජනනි ධනංජනා ටී.47 කාණ්ඩය යටතේ දුර පැනීමේ ඉසව්ව සඳහා ද රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම තරගාවලියේ දී බුද්ධික ඉන්ද්‍රපාල ටී.- 42 කාණ්ඩය යටතේ පැවති මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ද කුමුදු ප්‍රියංකා ටී.- 46 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්ව සඳහා ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කණ්ඩායම මෙම වසර තුළ පැවැත්වීමට නියමිත ජපානයේ ටෝකියෝ නුවර පැරා ඔලිම්පික් ලෝක ශූරතා තරගාවලියට සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව මෙම කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරු සජිත් ජයලාල් මහතා කටුනායක ගුවන්තොටුපොළේ දී පැවසීය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment