නිවසේ පඩි පෙළින් වැටී මියගිය බව කියූ දෙදරු මවගේ මරණයට සැකපිට සැමියා රිමාන්ඩ්

749

සූරියවැව නගරයේ පිහිටි වෙළෙඳ සැළක උඩු මහලේ සිට පඩිපෙළින් බිමට වැටී මියගිය බව කියන දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැකපිට ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර සැමියා ලබන 10 වන දින දක්වා රක්ෂිත

බන්ධනාගාර ගතකරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා පෙරේදා (02 දා) සවස නියෝග කෙරුණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ෆාමසියක හිමිකරුවකු වන එඩේරගේ නලින්ද ප්‍රසාද් නමැති දෙදරු පියෙකි.

මරණයට පත්ව ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුගේ බිරිඳ වන ලියනගමගේ රසිකා දමයන්ති නමැති දෙදරු මවයි.

පසුගිය 01 දා අලුයම 04ට පමණ නිවසේ පඩිපෙළින් බිමට වැටී අනතුරකට ලක්ව ඇති බව පවසමින් සැමියා විසින් මරණකාරිය සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලට ඇතුළත් කරන විටත් දෙදරු මව මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සැකකරු හා මරණකාරිය අතර කලක සිට පවුල් ආරවුල් පැවත ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර මියගිය කාන්තාවගේ ඥාතීන්ද පැවසුවේ දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුල් නිතර පැවති බවයි. මරණයට පත් වීමට පෙර දිනයේ රාත්‍රියේ දෙදෙනා අතර බොහෝ වේලාවක් ගැටුමක් ඇතිව තිබේ.

ඒ අනුව මෙම මරණය සැක සහිත බවට මරණකාරියගේ මව වන කංකානම් ගමගේ ප්‍රේමාවතී යන අය හා සහෝදරියක වන ලියනගමගේ රමණි යන අය විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක්ද ගොනු කර තිබේ. ඒ අනුව මෙම මරණය සම්න්ධයෙන් සූරියවැව පොලිසිය හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූ අතර සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සූරියවැව පොලිසියට නියෝග කරන ලදී.

ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දිල්හානි අමරසිංහ මහත්මිය විසින් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුසන්ත කාර්යවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment