ඉස්කෝලේ යන කොල්ලෙක් වට්ස් ඇප් එකෙන් කෙල්ලන් ඇමට අරන්!

650

පාසල් සිසුවියොත් ඒ අතර…

ප්‍රසිද්ධ නිරූපිකාවන් නමින් වට්ස්ඇප් ගිණුම්….

ඇත්ත දැනගත්තේ පාසල් සිසුවියක් දිවි නසාගන්න ගිහින්….

මිනුවන්ගොඩින් ඇසෙන නිරුවත් පිංතූර ජාවාරමක සත්‍ය කතාවක්…

මලීෂ ගිම්හාන් මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. වයස අවුරුදු 19 කි. එම ප්‍රදේශයේම ජනප්‍රිය විදුහලක ඔහු උසස් පෙළ හදාරමින් සිටියේය. අධ්‍යාපන කටයුතු සඳහා නිසි උනන්දුවක් නොදැක්වූ ඔහු වැඩිපුරම කාලය ගත කළේ මිතුරන් සමග විනෝද වෙමින්ය. නිවසේ සිටින මොහොතේ දී ඔහු වැඩිපුර කාලය ගත කළේ තම කාමරය තුළට වී දොර වසාගෙනයි.

අන්තර්ජාලය හරහා අසභ්‍ය දසුන් නැරඹීමට ඔහු යොමු වූයේ දැනට වසර කිහිපයකට පමණ ඉහතදීය. එයින් මනස විකෘති වී තිබූ ඔහු අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවකින් පෙළුණු අයෙක් විය. එම නිසා පාසල් සිසුවියන් ගේ සහ වෙනත් තරුණියන්ගේ නිරුවත් පිංතූර ලබා ගැනීමේ ආශාවකින් ඔහු පෙලුනේය. එය ඉටුකර ගන්නා ආකාරය ගැන ඔහු දස අතේ කල්පනා කළේය.

“මම ආස කරන අයගේ නිරුවත් පිංතූර ගන්න හොඳම ක්‍රමය තමයි ව්‍යාජ වට්ස්ඇප් ගිණුමක් හදලා නිරූපණ ක්ෂේත්‍රයට එළඹෙන්න අවස්ථාවක් තියෙනවා කියලා කෙල්ලන්ට පණිවුඩ යවන එක.” අවසානයේ ඔහු එලෙස සිතුවේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු මෙරට ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නම් භාවිතා කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් දෙකක් සාදා ගත්තේය. එම ගිණුම් හරහා තමා දන්නා පාසල් සිසුවියන්ගේ සහ තරුණියන්ගේ වට්ස්ඇප් ගිණුම්වලට නිරූපණ ක්ෂේත්‍රයට සහ රංගනයට අවස්ථාවක් ලබා දිය හැකි බව පවසමින් පණිවුඩ යැව්වේය. එයට අමතරව ඔවුන් සමඟ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගනිමින් ඉතා සූක්ෂම ලෙස විශ්වාසයක්ද ගොඩනඟා ගත්තේය. එම තරුණියන් ද ජනප්‍රිය මෙම නිරූපණ ශිල්පීන්ගේ නම් අසා තිබූ නිසා ඉතා කැමැත්තෙන් පණිවුඩ හුවමාරු කර ගත්තේය.

ජනප්‍රිය නිරූපිකාවන් දෙදෙනා ලෙස ව්‍යාජ ලෙසින් පෙනී සිටි මෙම පාසල් සිසුවා අවසානයේ නිරූපණ ක්ෂේත්‍රය සහ රංගන ක්ෂේත්‍රයට පිවිසීමට කැමතිනම් ශරීරය එයට උචිත ආකාරයෙන් තිබෙනවා දැයි බලා ගැනීම සඳහා නිරුවත් පිංතූර තමන් වෙත එවන ලෙස එම පාසල් සිසුවියන්ට සහ තරුණියන්ට දන්වා සිටියේය. දෙපාරක් නොසිතූ ඔවුන් තම ශරීරයේ නිරුවත් පිංතූර එම ව්‍යාජ වට්ස්ඇප් ගිණුම්වලට යැව්වේය.

තරුණියන්ගේ එම නිරුවත් පින්තූර දෙස බලා ඔහුගේ විකෘති කාමාශාවන් සංසිඳුවා ගත්තේය. එයට අමතරව ඔහු ඒ සියලු පින්තූර තම පරිගණකයේ ගබඩා කර ගත්තේය. වසර කිහිපයක් ඔහු මෙම ජාවාරම ජයටම සිදු කරගෙන ගියේය. පාසල් සිසුවියන් සහ තරුණියන් පහළොස් දෙනකුගේ පමණ නිරුවත්ව විවිධ ආකාරයෙන් සිටින පින්තූර විශාල ප්‍රමාණයක් ඒ වනවිටත් ඔහු සතුව තිබුණි. තමා සමග එකම පෞද්ගලික පන්තියක අධ්‍යාපනය හදාරන සිසුවියන් හතර දෙනෙක් ද ඒ අතර සිටියේය.

දිනක් ඔහුගේ මිතුරකු නිවසට පැමිණියේය. එහිදී ඔහු මිතුරාට තම පරිගණකයේ ඇති නිරුවත් පින්තූර කිහිපයක් පෙන්නුවේ තමා ගැන ද උදම්අනමින්ය. ඒ අතර එම මිතුරා අඳුරන පාසල් සිසුවියකගේ නිරුවත් පිංතූර කීපයක් ද තිබුණි.

පසුදින එම සිසුවිය මුණගැසුනු එම මිතුරා ඇයට මෙලෙස පැවසුවේය. “මම ඊයේ මලීෂලාගේ ගෙදර ගියා. එයාගේ පරිගණකයේ තියලා ඔයාගේ නිරුවත් පිංතූර වගයක් දැක්කා. ඔයාගේ විතරක් නෙවෙයි තව ගොඩක් අයගේ තිබුණා. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. හැබැයි මම කියපු විත්තියක් කියන්න එපා.”

එය ඇසීමෙන් නිරූපණ ශිල්පිනියක් වීමට ආශාවෙන් සිටි පාසල් සිසුවියට උන් හිටි තැන් අමතක විය. සියොළඟම දහඩියෙන් නැහැවී ගියාය. ඒ අතර බියටත් ලැජ්ජාවටත් පත් වූ ඇය කරන්නේ කුමක් ද කියා සිතාගත නොහැකිව දස අතේ කල්පනා කළාය. තමා වංචාකාරයකුට රැවටී ඇති බවත් එම පින්තූර අන්තර්ජාලයට දැමුවහොත් සමාජයට ද මුහුණදීමට නොහැකි බව ඇය දැන ගත්තාය.

“දැන් කරන්න දෙයක් නැහැ. නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන්න සිටි මම වංචාකාරයකුට අසුවුණා. මමත් බියක් සැකක් නොමැතිව මගේ නිරුවත් පිංතූර ඔහුට යැව්වා. තව ටික දවසකින් ඒ පුද්ගලයා මේ පින්තූර අන්තර්ජාලයටත් දමාවි. එතකොට කොහොමද මම දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, පාසලේ ගුරුවරුන්ට සහ සමාජයට මුහුණ දෙන්නේ. දැන් මම වැඩේ වරද්දගෙන ඉවරයි. හොඳම දේ මොකක් හරි කරලා ජීවිතය නැති කර ගන්න එක.” අවසානයේ ඇය එලෙස සිතුවාය. ඒ අනුව තම ජීවිතය නැති කර
ගැනීමට ස්ථීර ලෙසම තීරණය කළ ඇය තම දෙමව්පියන්ට ලිපියක් ලිව්වේ මෙලෙසින්ය.

“මගෙ රත්තරන් අම්මේ තාත්තේ මට සමාවෙන්න. කවදාවත් මම මෙහෙම දෙයක් කරගන්න හිතුවේ නැහැ. එහෙත් මම මේ දේවල් හිතලා කරපුවා නොවෙයි. නිරූපණ ක්ෂේත්‍රයට තිබූ ආශාව නිසා කරපු දේවල්. මේ කිසි දෙයක් ගැන මම දැනගෙන හිටියේ නැහැ. එහෙම හිටියා නම් මෙහෙම කරන්නෙත් නැහැ. මට ඔයාලව දාලා යන්න වෙනවා. සමාජය ඉදිරියේ මට ඕගොල්ලන් ලැජ්ජාවට පත් කරන්න බැහැ. ඒක නිසා මම මේ තීරණය ගන්නවා. ඔයාලා සතුටින් ඉන්න. කවදාවත් මං නිසා දුක් වෙන්න එපා. අවසාන වරටත් කියන්නේ මම මේක හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒක නිසා මට දස දහස් වාරයක් සමා වෙන්න.”

ඉස්කෝලේ යන කොල්ලෙක් වට්ස් ඇප් එකෙන් කෙල්ලන් ඇමට අරන්!

එලෙස ලිපිය ලියූ මෙම පාසල් සිසුවිය තම මිතුරියකට ද එය පෙන්නුවාය. එම ලිපිය කියවා බියට පත්වූ මිතුරිය වහාම එම මිතුරියගේ දෙමව්පියන්ට ඒ පිළිබඳ සියලු විස්තර පැවසුවාය. එය ඇසූ දෙමවුපියෝ කලබලයට පත් වූහ. වහාම තම දියණිය මුණගැසී “ඔයා වරදක් කරලා නැහැ දුව” අපිට ඔයාව විශ්වාසයි. ඒක නිසා කිසි දේකට බයවෙන්න එපා. අපි මේකෙන් ඔයාව බේර ගන්නවා. මේක සුළු සිදුවීමක්.” යැයි පවසමින් ඇයගේ සිත යම්තාක් දුරට සැනසුවාය.

දෙවනුව එම දෙමව්පියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය වෙත ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළහ. පරීක්ෂණවල දී අනාවරණය වූයේ ඉහත සඳහන් කළ වයස අවුරුදු දහනමයක් වයසැති සිසුවා මෙම අපරාධය සිදුකර ඇති බවයි. ඒ අනුව සැකකාර සිසුවා ව ඔහුගේ නිවසේ දීම අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකි වූහ.

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවාගේ පරිගණකයේ පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් පහළොස් දෙනකුගේ නිරුවත් ඡායාරූප තිබී සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. එයට අමතරව අනාවරණය වූයේ මෙම සැකකාර පාසල් සිසුවා මෙවැනිම විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් වරක් පන්ති තහනම් වූ අයකු බවයි. ඔහු මෙම නිරුවත් ඡායාරූප ලබා ගනිමින් අදාළ දැරියන් බිය ගන්වා මුදල් ලබා ගත්තාද නැතහොත් වෙනත් මුදල් ඉපැයීමේ ජාවාරමක නියලුනාද යන්න පිළිබඳව ද විමර්ශන සිදුකරයි.

ඒ අතර සැකකාර පාසල් සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම පාසල් සිසුවියගේ ජීවිතය බේරුණේ ඇයගේ මිතුරිය නිසාය. එසේ නොමැති වූවා නම් ඇය සියදිවි නසා ගන්නේ දෙමව්පියන්ට සහ සමාජයට මුහුණදීමට නොහැකි යැයි සිතා බියෙන්ය. විකෘති ලිංගික ආශාවන්වලින් පෙළෙන මෙවැනි අය තවත් සමාජයේ සිටිති. පාසල් සිසුවියනි, තරුණියනි එම නිසා ඔබත් මෙවැනි පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වීමට වගබලා ගන්න.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment