මේ සටහන කියවන මොහොත වන විට හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවී ගොස් අවසන්ය. සිංහල හින්දු අලුත් අවුරුද්ද පැමිණෙන බව රටට හඬගා කියන ලක්ෂණ කිහිපයක්ම පවතී. රතට රතේ දිලිසෙන එරබදු මල්, කොහාගේ නාදය, තැන තැන ඇසෙන රබන් පද ඒ අතරින් කිහිපයක් වන අතර අනෙක් වැදගත්ම ලක්ෂණය වන්නේ රතිඤ්ඤා හඬයි. මඟුලට මෙන්ම සමහර ප්‍රදේශවල මරණ ගෙදරටද පත්තුවන රතිඤ්ඤා හඬ දැනට අවුරුදු පහ හයකට පෙර සිට මේ වනවිට කෙමෙන් කෙමෙන් අපේ දෙසවන් තුළින් ඈත්වන ආකාරය දක්නට ලැබේ.

වෙනදා දෙසැම්බර් මාසේ මුල සිටම ඇසෙන රතිඤ්ඤා හඬ නත්තල පමණක් නොව ජනවාරි පළමුවැනිදාටද එක දිගට පැය ගණනක් යනතුරු අසන්නට ලැබේ. නමුත් මේ අවුරුද්දේ එලෙස රතිඤ්ඤා පත්තු වන හඬක් අපට අසන්නට නොලැබිණි. එසේම වෙන අවුරුදුවල අප්‍රේල් පළමුවැනිදා සිටම අලුත් අවුරුද්ද පිළිගන්නට කොල්ලො කුරුට්ටෝ රතිඤ්ඤා දල්වන අතර මේ වසරේ මේ සටහන ලියන මොහොත වන අප්‍රේල් 10 වැනිදා වන විටත් එකදු හෝ රතිඤ්ඤා හඬක් ඇසුණේ නැත. වෙනත් වසරවල තරුණයන් පාර දිගට තරගයට මෙන් විනෝදාස්වාදය පිණිස දල්වන අහස් කූරු මේ වසරේ නිකමටවත් එකක් හෝ දක්නට නොලැබිණි. කොළඹ බොහෝ මහල් නිවාසවල වෙනදා එක දිගට පැය ගණනක් යනතුරු අහස් කූරු දල්වන්නේ එකෙකුට එකෙක් නොපරදින පරිද්දෙනි. මෑත කාලයේ එය වඩාත් ජනප්‍රිය වූයේ අහස් කූරු තුළින් නැගෙන හඬ නිසාය. නමුත් ඒ සියල්ලට දැන් කියන්නට සිදුවන්නේ සුන්දර අතීත මතක සැමරුම් පමණක් කියාය. ඒ තරමටම අපේ ගති පැවතුම් අතීතයට එක් වී අවසන්ය.

මෙවර රතිඤ්ඤා හඬ නොඇසුණේ එය සතා සිවුපාවාට, අවට ජනතාවට හිරිහැරයක් යැයි සිතා රතිඤ්ඤා දැල්වීමෙන් වැළකුණු නිසාද?. එසේත් නොමැති නම් රතිඤ්ඤා දැල්වීමෙන් අනතුරු සිදුවන බවට නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ කරන දැනුවත් කිරීම් නිසාද?. එසේත් නොමැතිනම් ජනතාව අත මුදල් නොමැතිකම මේ සඳහා බලපා ඇත්ද යන්න පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට අප තීරණය කළේ එය නත්තල් සමයේ මෙන්ම මෙවර සිංහල අලුත් අවුරුද්දේ ද ලොකුවටම එම හඬ අඩුවක් සේ දැනුනු නිසාය. වෙනදා පාර අයිනේ තැන තැන දැකිය හැකි රතිඤ්ඤා අලෙවි කරන කුඩා කඩ බොහෝමයක් දක්නට නොලැබිණි.

මුලින්ම අප කතාකළේ දකුණු පුරවරයේ ගිණිකෙළි නිෂ්පාදකයෙකු වන සීමා ගිනිකෙලි ආයතනයේ හිමිකරු වෙතයි. ඔහු ප්‍රකාශ කළේ මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා තමන් නිෂ්පාදනය කළ ගිනි කෙළි වලින් සියයට 75 කට අධික ප්‍රමාණයක් මේ වන විට ගැනුම්කරුවන් විසින් මිලදී ගෙන අවසන් බවයි. ගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගිනි කෙලි නිෂ්පාදන මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති නිසා හොඳ අලෙවියක් සිදුවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් පවසයි.

කෙසේ වෙතත් ගිනිකෙලි මිලදීගත් බොහෝ දෙනා චෙක් පත් මගෙන් ගනුදෙනු කටයුතු සිදු කරන නිසා ගිනි කෙළි අලෙවිය පහත වැටුණොත් තමන්ට මුදල් ලබා ගැනීමට දීර්ඝ කාලයක් සිටීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වසරේ ගිය වසරට සාපේක්ෂව ගිනි කෙළි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් නොපැවතුණත් මීට වර්ෂ දෙක තුනකට පෙර තුන් හතර ගුණයකින් මිල ඉහළ ගිය අමුද්‍රව්‍යය මිල තවමත් ඉහළ මිලක පවතින බව ඔහු පවසයි.එහෙත් මෙවර වෙනදාට වඩා ගිනිකෙලි මිල තරමක් පහළ ගොස් ඇති බව ඔහු පවසයි.

පිටකොටුව ගෑස් පහ ප්‍රදේශය රතිඤ්ඤා අලෙවියට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි. මීගමුව කිඹුලාපිටිය ආදී ප්‍රදේශවලින් මෙන්ම දිවයිනේ රතිඤ්ඤා නිපදවන බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා පැමිණෙන්නේ කොළඹ ගෑස්පහ ප්‍රදේශයටය. නමුත් මේ දිනවල වෙනත් වසර වල මෙන් මහා පරිමාණයෙන් රතිඤ්ඤා අලෙවියක් දකින්නට නැත.

එම්. ගණේෂ් මහතා මහතාගේ ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ රතිඤ්ඤා සිල්ලරට අලෙවි කරන පුද්ගලයෙකි. අප ඔහු හමුවට යන විටත් ඔහු බලා ගත් අත බලා සිටියේ දැන්වත් වෙළෙඳාමක් සිදුවේවි යන බලාපොරොත්තුවෙනි. මේ ඔහුගේ හඬයි.

ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ බිස්නස් ගොඩාක්ම අඩුයි. වෙන අවුරුදුවල මේ වෙනකොට කරගන්න බැරි තරම් බිස්නස් එකක් තිබුණා. ඒත් මේපාර පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමත් එක්ක මිනිස්සු රතිඤ්ඤා දිහා වැරදිලාවත් හැරිලා බලන්නේ නැහැ. ඉස්සර රුපියල් 350ට විකුණපු රකිඤ්ඤා වැල දැන් රුපියල් 1000ක් වෙනවා. දැන් අවුරුදු ගාණක ඉඳලා මම මෙතන බිස්නස් එක කරනවා. මේ පාර තමයි අඩුම බිස්නස් එක. මේ බඩු දාලා තියෙන්නේ ණය වෙලා. වැඩිය නෙවෙයි අඩුගානේ ණය වෙච්චි ටිකවත් බේරගත්තොත් ඒ ඇති. මම රෑ දහය වෙනකම් බිස්නස් එක කරනවා. ඒ කරලාවත් ගොඩක් දවසට දවසේ කෑම වේලෙ ගාණවත් ශේප් වෙන්නේ නැහැ.

එම්. ගනේෂ් මහතා සමග කතාබහ කරමින් සිටි කාලය තුළ දෙතුන් දෙනෙක් රතිඤ්ඤා මිලට ගැනීමට පැමිණියද ඒ කිසිවකු එකදු රතිඤ්ඤා කරලක් හෝ මිලට ගත්තේ නැත. ඒ වෙනුවට ගණන් අසා රුපියල් 1500ක් වන රතිඤ්ඤා පෙට්ටියක් රුපියල් 1300 කට 1200ට දිය නොහැකිදැ‘යි හෙට්ටු කරනු දක්නට ලැබිණි. නමුත් ගණේෂ් මහතා පවසන ආකාරයට එසේ හෙට්ටු කරන මුදලට ලබාදීමට තරම් රතිඤ්ඤා කරලකින් ඔහුට ලොකු ලාභයක් නොමැත.

මීළඟට අප එම මාර්ගය දිගේම තවත් ඉදිරියට ඇදෙද්දී මාර්ගය අයිනේ රතිඤ්ඤා විකුණන කාන්තාවක් මුණ ගැසුණි. ඇය නමින් නිශාන්තිය. මේ ඇගේ කතාවයි.

මේ පාර සද්දෙට රතිඤ්ඤා නැත්තෙ ඇයි?
නිශාන්ති

අපි කිඹුලාපිටියෙන් බඩු ගෙනත් විකුණන්නෙ. වෙන අවුරුදුවලට සාපේක්ෂව මේ අවුරුද්දේ හොඳටම බිස්නස් ලොස්ට් වෙලා තියෙන්නේ. අපි හැම සීසන් එකකම මෙතන බඩු දානවා මෙතන බස් වලින් ඇවිත් මිනිස්සු බහින තැන නිසා වෙන අවුරුදුවලට නම් හොඳට බිස්නස් එක තිබුණා තිබුණා. ඒත් මේ පාර නම් වැලේ වැල් නැහැ. ඒකට හේතුව බඩු මිල ඉහළ යෑම වගේම මිනිස්සුන්ගේ ආදායම් මාර්ග නැති වෙලා යෑම. වෙනද පුරුද්දට මිනිස්සු ඇවිල්ල ගණන් අහලා යනවා. දහ දෙනෙක් ගණන් ඇහුවොතින් එක්කෙනයි ගන්නේ.

අප කොළඹ අවට රතිඤ්ඤා තට්ටු කීපයක්ම නිරීක්ෂණය කළ අතර තට්ටු පිරෙන්නට බඩු ඇතත් ඒ කිසිවක් මිලදී ගන්නට මිනිසුන් නැත. සීබ්‍රා රතිඤ්ඤා හිමිකරු පැවසූ පරිදි ඔවුන්ගෙන් බඩු මිලට ගත් අතර මැදියන් මේ වන විට සිල්ලර වෙළෙන්දන්ට රතිඤ්ඤා අලෙවි කොට අවසන්ය. නමුත් දහසක් බලාපොරොත්තු ඇතිව ඒවා මිලදී ගත් සිල්ලර වෙළෙන්දා මේ වන විට තමන් ඒ වෙනුවෙන් වැය කළ මුදල හෝ බේරා ගැනීමට බැරිව දස අතේ කල්පනා කරන ආකාරය දක්නට ලැබේ.

රතිඤ්ඤා නිෂ්පාදකයාගෙන් මිලට ගෙන බෙදා හරින අතරමැදියකු වන කසුන් මධුසංක නමැත්තා මෙවර රතිඤ්ඤා අලෙවිය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

වෙන අවුරුදුවල මම වෙනමම කවර් කරන ෆීල්ඩ් එකක් තමයි අවුරුදු උත්සව. ගොඩක් අවුරුදු උත්සව අවසානයේ සංගීත සංදර්ශන තියෙන නිසා මල්වෙඩි වගේ ගොඩාක් දේවල් ගන්නවා. වැඩිය නෙමෙයි ඕගොල්ලොම බලන්න මේ පාර පත්තරේ අතට ගත්තම අවුරුදු උත්සව කීයෙන් කීයද පත්තරේ දාලා තියෙන්නේ කියලා. වෙනදා වගේ නෙවෙයි දැන් මිනිස්සු අතේ සල්ලි නැහැ. දැන් මිනිස්සු විනෝදාස්වාදයට වියදම් කරන්නේ නැහැ. මිනිස්සුන්ට ඊට වැඩිය දේවල් තියෙනවා තියෙනවා. මේ පාර නම් බිස්නස් හොඳටම වැටිලා තියෙන්නේ. අපි බඩු ගන්නෙ චෙක්වලට. ඒවට සල්ලි දාන්නත් ඕන. දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් නැහැ. අන්තිමට අපි රටට ලෝකෙට ණයකාරයෝ වෙයි කියල බයයි.

මෙවර රතිඤ්ඤා මිල පිළිබඳ සොයා බැලීමේදී පෙනීගියේ ගිය වසරට වඩා මේ වසරේදී යම්කිසි තරමකින් මිල පහත බැස ඇති බවයි. රුපියල් 15කට අලෙවි වූ රතිඤ්ඤාවක් රුපියල් 10කි. රුපියල් 25කට අලෙවි වූ අහස් කූරක් රුපියල් 15කි. මිලද එසේය. රුපියල් 600කට අලෙවි වූ බඹර චක්‍ර පෙට්ටියක් රුපියල් 400කි. නිලා පෙට්ටියක් රුපියල් 250කි.

දරුවන් සතුටු කිරීමට බැරිව ළතැවෙන පියෙක්

මේ පාර සද්දෙට රතිඤ්ඤා නැත්තෙ ඇයි?
එම්. ගණේෂ්

රතිඤ්ඤා විකුණන ස්ථාන දෙක තුනකින්ම එක පුද්ගලයෙක් මිල ගණන් අසනු දක්නට ලැබිණි. නමුත් ඔහු එකදු රතිඤ්ඤාවක්වත් මිලට ගත්තේ නැත. ඒ නිසාම අප ඔහු හා කතාබහට වැටුණේ ඔහුට රතිඤ්ඤා මිලට ගැනීමේ දැඩි බලාපොරොත්තුවක් ඇති බව තේරුණු නිසාය. ඔහු නමින් නිශාන්ත මල්ලවආරච්චිය. ඔහු තම ඡායාරූපය පුවත්පතේ පළ කරනවාට අප්‍රසාදය දැක්විය. නමුත් ඔහුගේ හඬ ඉතා වැදගත් නිසා මෙසේ සටහන් කර තබමු.

මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. හැම අවුරුද්දෙම ඒ තුන්දෙනාට වෙන වෙනම රතිඤ්ඤා, බඹර චක්කර, නිලා වගේ හැම එකක්ම ගෙනිහින් දෙනවා. පොඩි ළමයි ඒවාට හරි ආසයිනේ. ඒත් මේ පාර දැන් තියෙන බඩු මිලත් එක්ක එහෙම ගිහින් දෙන්න හැකියාවක් නැහැ. එහෙම ගත්තොත් ගෙදරට ඕන බඩු ගන්න සල්ලි මදි වෙනවා. ඒත් ළමයි තුන්දෙනාගේ ආසාව මතක් වෙනකොට නොගෙන ඉන්න හිතෙන්නෙත් නැහැ. දැන් මම දෙලොවක් අතර තනිවෙලා ඉන්නේ. තාත්තා කෙනෙක් විදිහට ළමයින්ගේ ආසාවට මුල් තැන දෙනවද නැතිනම් ගෙදර ගෘහ මූලිකයා වශයෙන් ගෙදර අඩුපාඩු පිරිමහගන්නවද කියලා. මේ කොයික කරත් එක දෙයක් අනිවාර්යෙන්ම අතහරින්න වෙනවා.

ඔහුට පවසන්නට තවත් බොහෝ දේ ඇතත් ඔහුගේ දෙනෙතින් කඳුළු කැට වැටෙනවා දුටු අප ඔහු අස්වාසාලූයේ “කරන්න දෙයක් නැහැ අයියේ හැමෝම ඔය වගේ තමයි ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉන්නේ” යනුවෙන් පවසමිනි.

රටේ බොහෝ දෙමාපියන්ගේ කතාව මීට සමානය. අවුරුද්දකට වරක් පැමිණෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දේවත් තම දරු පැටවුන්ගේ ආසාව ඉටුකරන්නට බැරිවීම ගැන බොහෝ දෙමව්පියෝ සිත යටින් දහස් වර වැළපෙති. සමහරෙක් බොරු වියදම් යනුවෙන් මෙවැනි ක්‍රියා විවේචනය කරන්නට පුළුවන. නමුත් පුංචි ළමුන්ගේ සිතේ ඇතිවන සතුට දෙමාපියන්ට අන් සියලු දේටත් වඩා වටින නිසා ඒ පිළිබඳ තර්ක කිරීම සුදුසු නැත.

සමීර කන්නංගර

advertistmentadvertistment
advertistmentadvertistment