පසුගිය දිනෙක කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමුළුවක මූලික තේමාව වී තිබුණේ පාම් ඔයිල් පිළිබඳවයි. එම අන්තර්ජාතික සමුළුව වෙතින් මේ සඳහා විද්‍යාත්මක තොරතුරු රාශියක් එක්රැස් කරගත හැකිවිය. එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා මහාචාර්ය ඒ. පී. නිශ්ශංක මෙසේ ප්‍රකාශ කළේය.

විද්‍යාත්මකව Elaeis guineensis ලෙස හඳුන්වන කටුපොල් හෙවත් පාම් ඔයිල් හි ජන්ම භූමිය බටහිර නිරිතදිග අප්‍රිකාවයි. ලෝකයේ වැඩි පිරිසක් ආහාර ලෙස පරිභෝජනය කරන ශාකමය තෙල් අතරින් පාම් තෙල් මුල්තැන ගනී. එසේම පාම් තෙල් ලොව වඩාත්ම තිරසර සහ, ආර්ථික වශයෙන් ඵලදායී වගාවන්ගෙන් එකකි. ලොව එළවළු තෙල් ලබා ගැනීමට වෙන්වූ වගා බිම්වලින් පාම් ඔයිල් වගාව සඳහා වෙන්ව ඇත්තේ 5%කි. මෙම 5% බිම් ප්‍රමාණයෙන් ලෝක එළවළු තෙල් අවශ්‍යතාවෙන් 38% සපුරයි. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඇති හැකියාව ඉඩම් සීමිත කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවට යෝග්‍ය විසඳුමක්ද වේ.

එහෙත් පාම් ඔයිල් වගාව පරිසරයට විනකරන හේතුවක් ලෙස ඉහළ අස්වැන්නක් ලබා දීම සඳහා ඉහළ ජල පරිභෝජනයක් කරන බවටත්, ඒ නිසාම පොළොවේ සාරවත් බව තුරන්වීම පමණක් නොව ජල උල්පත් සිඳීයෑමත් සිදුවන බවට පාම් ඔයිල් වගාව වෙත එල්ල වූ චෝදනායි. ඒ පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේදී අදහස් ඉදිරිපත් විය. ඉන් ඉදිරිපත්වූ වැදගත් කරුණු කීපයක් මෙසේයි.

ශ්‍රී ලංකාවේ දැනට වගාකොට ඇති හෙක්ටයාර 11000ක ඉඩම් සියල්ල මින් පෙර රබර් හෝ තේ වැවීම හේතුවෙන් නිසරු බවට පත්වූ ඉඩම්ය. ඒවා නැවත සරු ඉඩම් බවට කෘෂි විද්‍යාත්මකව සැකසීමෙන් අනතුරුවයි පාම් ඔයිල් / කටුපොල් සිටුවා ඇත්තේ. වසර 10ක බදුරලිය, නාකියාදෙනය, කෑගල්ල ප්‍රදේශවල වර්ෂාපතනය සැලකීමේදී ඒ ප්‍රදේශවල වර්ෂාපතනය ක්‍රමිකව වැඩිවී ඇති ආකාරය හඳුනාගත හැකියි. (පහත වගුවේ සඳහන් වෙන්නේ පසුගිය වසර 10යෙහි නාකියාදෙණිය හා බදුරලියෙහි කාලගුණවිද්‍යා වාර්ෂික වර්ෂාපතන වාර්තායි.) පාම් ඔයිල් වගාබිමක පාරිසරික තත්ත්වයන්, තේ රබර්, වී, පොල් වැනි වගාබිම්වල පසෙහි තත්ත්වයන් හා ජෛව විවිධත්වය ආදිය සලකන විට සෑම අතකින්ම ඒවාට සමාන හෝ පොල්, තේ, රබර්, වී වැනි ආර්ථික භෝග සහිත බිම්වලට සාපේක්ෂව හොඳ තත්ත්වයක පවතින බවට සනාථ කරයි. එක් පාම් ඔයිල් ගසක දිනක ජල පරිභෝජනය. ලීටර් 249කි. එක් පොල් ගසක දිනෙක ජල පරිභෝජනය ලීටර් 130කි. වැඩුණු රබර් ගසක දිනක ජල පරිභෝජනය ලීටර 63කි. හෙක්ටයාර එකක පාම් ඔයිල් වගාවකට අවැසි ජලය 35607කි. පොල් සඳහා ලීටර් 20,800කි. රබර් සඳහා ලීටර් 32760කි. දැනට පාම් ඔයිල් වගාකොට ඇත්තේ රබර්, තේ වැවෙන ප්‍රදේශවල නිසා මෙම වගාවන්ගෙන් කොයික කළත් පරිසරයට ඇති බලපෑම සමාන බව පර්යේෂකයන්ගේ මතයයි. ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වවන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500-3500 අතර කලාපයේයි. මෙම ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හෙක්ටයාර එකකට ලීටර් 68500 පමණ වේ යැයි ගණන් බලා තිබේ. ලොව පාම් ඔයිල් කර්මාන්තයේ ප්‍රමුඛයන් වන මැලේසියාව හා ඉන්දුනීසියාව වගා කටයුතු සිදු කරන්නේ මිලිමීටර 2000 – 2500 වර්ෂාපතන කලාපයේයි. ඉන්දියාව වගා කටයුතු ව්‍යාප්තියට තෝරා ඇත්තේ මිලිමීටර 2000ක වර්ෂාපතන කලාපයයි.

ශ්‍රී ලංකාවේ වගාකොට ඇති භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 11132ක භූමි ප්‍රමාණය හෙක්ටයාර 20000 දක්වා වැඩි කිරීම සඳහා 2016 දී පොල් පර්යේෂණ ආයතනයේ මෙන්ම පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ අවසර ලබාදීමට හේතු කීපයක් බලපා තිබිණි.

කටුපොල් වගාවේ ඇත්ත නැත්ත

පළමුවැන්න පාම් ඔයිල් වගාවෙන් ජාතික ආර්ථිකයට එක්වන ආදායම සලකායි. (මෙතෙක් දළ ජාතික නිෂ්පාදනයට දැනට පවතින පාම් ඔයිල් කර්මාන්තයේ දායකත්වය පහත වගුවෙන් දැක්වෙයි.)

දෙවැන්න එළවළු තෙල් ආනයනයට වැයවන වියදම අඩුකර ගැනීමයි. (පසුගිය වසර කීපයේදී එළවළු තෙල් ආනයනයට වැය කළ මුදල් ප්‍රමාණය වගුවෙහි සඳහන්ය.)

තෙවැන්න දැනට අඩු ඵලදායිතාවක් ඇති වැවිලි ඉඩම්වලින් නිසි ඵලදායිතාවක් ලබා ගැනීමයි.

එසේම වැඩි ආදායමක් උපයන පාම් ඔයිල් වගාව එතෙක් කලක් මහා පරිමාණ වතු සමාගම්වලට පමණක් සීමා කරගනිමින් සිදුකරගත් ඓතිහාසික වැරැද්ද නිවැරැදි කිරීමටත් එය කරගත හැකිව තිබිණි.

පාම් ඔයිල් හෙවත් කටුපොල් පිළිබඳව විරෝධතා ඉස්මතුවෙන්නේ මින් අනතුරුවයි. මාධ්‍ය හැසිරීම පිළිබඳව ජාතික පුස්තකාලයේ ඇති ලිපිගොනු පදනම්ව කළ නිරීක්ෂණයන් තහවුරු වූයේ කටුපොල්වල කටු ඇතැයි මත සම්පාදනය වෙන්නේ 2016 දී පාම් ඔයිල් ව්‍යාප්තියට අවසර දීමෙන් අනතුරුව බවයි. පිටතට පෙනෙන සාධාරණ බවක්ද එහි ගැබ්ව තිබෙයි. හෙක්ටයාර 10000ක් එළිකොට වගා කිරීමෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳවයි. (එය සැබවින්ම ගරිල්ලා මාර්කටින් ප්‍රචාරණයකි.) මේ අනුව 2019 මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛ සටන් පාඨයක් වන තරමට කටුපොල් විරෝධය උත්සන්න වී තිබිණි.

ඒ වකවානුවේ පුවත්පත් ලිපියක සඳහන් වී තිබූ කරුණක් මෙසේයි.

“සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 125කට වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙළි කිරීමට පළමුව පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. නමුත් එකවර ඉතා විශාල භූමි ප්‍රදේශවල රබර් හා අතහැර දැමූ තේ වගා බිම් එළිපෙහෙළි කර කටුපොල් වගා කරනු ලබන්නේ මෙම නීති උල්ලංඝනය කරමිනි.”

මේ නීතිය වනාන්තර එළි කිරීමට අදාළ නීතියකි. ලේඛකයා කියන්නේ කල් ඉකුත්වූ රබර් වගාවක් පිළිබඳවයි. වැවිලි කර්මාන්තයේදී නැවත සිටුවීම සඳහා මෙවැනි නීති කිසිසේත් අදාළ නැත. 2016 සිට මතුවූ විරෝධතා මෙවැනි පදනම් විරහිත ඒවායි.

2019 මැතිවරණ වේදිකාවේ පාම් ඔයිල් සීමා කිරීම මැතිවරණ පොරොන්දු අතරට පැමිණෙන තරමට කටුපොල් පිළිබඳ අඳුරු සිතුවමක් ගොඩනැඟෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනයි. ඒ බව සනාථ වෙන්නේ ගෝලීයව කටුපොල් හෙවත් පාම් ඔයිල් නැවත සිටුවීම තහනම් කළ එකම රට සේම පාම් ඔයිල් ආනයනය තහනම් කළ එකම රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසගත වීමෙනි. අප කොතෙක් රැවටී ඇත්දැයි හැඟෙන්නේ අප පත්වී සිටින ණය මත ජීවත්වන බිඳුණු ආර්ථිකය නිසාම පමණක් නොවේ. ලෝකය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව විමසිලිමත් වීමෙනි.

කටුපොල් වගාවේ ඇත්ත නැත්ත

පසුගිය වසරේ පාම් තෙල් පිළිබඳ ගෝලීය වාර්ෂික ආදායමෙන් 72% උපයා ඇත්තේ ආසියා පැසිපික් කලාපයයි. ඉන් වැඩි ආදායම ලබා ඇත්තේ මැලේසියාව, ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියාවේ මෙම කර්මාන්තය හා බැඳී කුඩා වැවිලිකරුවෝ ප්‍රමාණය මිලියන 1.460කි. මාධ්‍ය හමුවක් අතරතුර මැලේසියා තානාපතිනිය පවසා සිටියේ එරට ආර්ථිකයට උරදෙන කුඩා ඉඩම් හිමියන් ප්‍රමාණය 300,000 බවයි. තායිලන්තයේද ඉඩම් හිමි වැවිලිකරුවෝ 300,000 කි. පසුගිය වකවානුවේ මේ රටවල විදෙස් විනිම සංචිත ඉහළ යෑම පිළිබඳව විමසිලිමත් වීමේදී අප කෙතරම් පසුබෑමට පත්වී ඇත්දැයි හැඟේ. ඉන්දියාවේ මේ කුඩා ඉඩම් හිමියන් පිරිස කඩිනමින් වැඩි වෙමින් පවතී. ඒ සඳහා ණය යෝජනා ක්‍රමයක්ද මෝදි ආණ්ඩුව හඳුන්වා දී තිබිණි. ඉන්දීය අගමැතිගේ ඉලක්කය එරට පාම් ඔයිල් ඉඩම් ප්‍රමාණය 2030 වනවිට හෙක්ටයාර මිලියන 16.7ක් දක්වා වැඩි කිරීමයි. දැනට ඔවුන් සතුව ඇත්තේ හෙක්ටයාර 350,000 ඉඩම් ප්‍රමාණයකි. ඉන්දියාව මේ වනවිටත් එළවළු තෙල් ආනයනයට ඩොලර් බිලියන 8.72ක් වැය කරයි. එරට අපේක්ෂාව 2030 වනවිට ටොන් මිලියන 6.6ක අස්වැන්නකි.

ලෝක වෙළෙඳපොළෙහි පසුගිය වසරේ පාම් තෙල් අලෙවිය අමෙරිකානු ඩොලර් බිලියන 65.8ක් වී තිබිණි. එම අගය මේ වසරෙහිදී අමෙරිකානු ඩොලර් බිලියන 68.14ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව ඉදිරි වසර 10ක කාලයේදී ඉල්ලුමේ වේගය 5.2% වේගයකින් ඉහළ යනු ඇතැයි වෙළෙඳපොළ සමීක්ෂණ ඇසුරින් හඳුනාගෙන තිබේ. මේ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ විය හැකි නම් එය ඩොලර් ඉපැයීමේ මඟකි. ඉන්දියාවේ අපේක්ෂාව එයයි.

කටුපොල් හෙවත් පාම් ඔයිල් සීමාව ඉවතලන ලෙස ඉල්ලා සිටින්නේ වැවිලි කර්මාන්තකරුවන් පමණක් නොවේ ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, හොරණ, බදුරලිය ආදී ප්‍රදේශවල අක්කරයක සිට අක්කර 10 දහය දක්වා හිමි ඉඩම් හිමියන් ‘හරිත දෙරණ’ නමින් සංවිධානය වී පසුගිය සමයේ මාධ්‍ය සාකච්ඡා පවත්වා තිබිණි. ඔවුන් උද්ඝෝෂණයක නිරතවී පාම් ඔයිල් වගාවට අවසර ඉල්ලූ බවටත් ජනමාධ්‍යයන්හී වාර්තා වී තිබිණි.

මේ ඔවුන් අතරින් කීපදෙනෙකුගේ අදහස්ය.

සිරිපාල එදිරිසිංහ – “මට අක්කර තුනක විතර තේ වගාවක් තියෙනවා. තවත් අක්කර තුනක රබර් තියනවා. අපි 2019 සිටම අක්කර දෙකක විතර ඉඩමක් පාම් ඔයිල් සිටුවීමේ අපේක්ෂාවෙන් වෙන්කර තිබෙනවා. දැන් තේ වගාව හරිම දුෂ්කරයි. කම්කරුවෝ නෑ පොහොර නෑ තිබුණත් පොහොර හරිම මිල ඉහළයි. මගේ ඉඩම මායිම් වෙන්නේ සමාගමේ කටුපොල් වගාවට. මට පේනවා ඒ අය ඒක උපරිම පහසුවට කරගෙන යන බව. අක්කරයක ඉඩමකට ඉන්නේ එක සේවකයයි.

එස්. එම්. සමරනායක – “මගේ උපන්ගම බදුරලිය. මේ පැත්තට අව්ව වැස්ස හැමදාමත් ඇතිපදං තියනවා. උපන්තේකට වතුර හිඟවෙලා නෑ. එහෙම වෙයි කියලා හිතන්නත් බෑ. මේ වහින වැස්සත් එක්ක. කටුපොල් ගැන ඒ කාලේ කටකතා හරියට ආවා. අපි උපන්දා ඉඳල ගොවියෝ. අපි හැප්පෙන්නේ මේ පොළොවත් එක්ක. ගහක් ගැන වුණත් අපිට ඒකෙ කොළ අතු ගෙඩි මුල් දිහා බලලා යමක් කියන්න පුළුවන්. පාම් ඔයිල් තාල වර්ගයේ ගහක්. ඒකට මුදුන් මුලක් නෑනෙ. මුල් ටික විහිදෙන්නේ අඩි 03ක විතර දුරකට. ඉතිං කොහොමද මේ ගහ නිසා භූගත ජලය හිඟ වෙනවයි කියන්නෙ.

උපුල් වික්‍රමආරච්චි – මේක ලෝකෙටම විහිළු සපයන රටක්. නිදහසින් පස්සේ දරුණුම ආර්ථික පරිහානිය වෙලා. ඩොලර් නැති නිසාලු හැම අකරතැබ්බම. අපි ඉල්ලන්නෙ අපේ ඉඩමේ වගාවක් කරන්න අවසරය විතරයි. අපිට වගා කිරීමට සුදුසු බීජ හෝ පැළ. වෙනත් කිසිදු දෙයක් එපා. අපිට පුළුවනි තව අවුරුදු තුනක් යන විට රටින් එළියට යන ඩොලර් යම් ප්‍රමාණයක් හෝ නවතා දැමීමට.

කුමාරි ගමඇතිගේ – අපි ඉල්ලන්නේ රැකියාවක්, අස්වැසුම ආධාර නෙවෙයි. අපේ ගෙවත්තේ කටුපොල් ඉන්දන්න අවසරය. අපේ ශ්‍රමයෙන් වගා කළ හැකි වගාවක් නිසාම නියම ප්‍රයෝජනය ගත හැකියි. යටි වගාවක් විදිහට කහ, ඉඟුරු වගාකර අමතර ආදායමක් ලබාගත හැකියි. මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් පොල් ගහ තරමටම මේ ගහෙන් ප්‍රයෝජන ගන්න බව අන්තර්ජාලයෙන් දැනගත්තා. අක්කරයකින් මාසෙකට රුපියල් ලක්ෂයක පමණ ආදායමක් ලබාගත හැකි බවට තොරතුරු තිබෙනවා. කාටත් අත නොපා ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ඉන් ගත හැකියි.

ටී. ඒ චන්ද්‍රලාල් – අපිට දැන් ගොවිතැන් එපා වෙලා ඉන්නේ. දවසම තේ වතුවල හිටියත් නියම ආදායමක් නෑ. වැඩට මිනිස්සු නෑ. හිටියත් පඩියක් දෙන්න ආදායමක් නෑ. ඒනිසා වගා ඉඩම් ගොඩක් අතැරදාන තත්ත්වයට ඇවිත්. පාම් ඔයිල් වගා කිරීමට අවසර දෙනව නම් අපිටත් අලුත් අපේක්ෂාවකින් වැඩ කළ හැකියි. කාබනික ගොවිතැන ආපසු හැරවූ ආකාරයෙන් ඇයි බැරි මේ නීතිය ආපසු හරවන්න.

දුරවබෝධය, අවිද්‍යාව මත පදනම් වී මැතිවරණයක් නිසාම ගත් වැරදි තීරණයක් තවත් මැතිවරණයකදී නිවැරදි කළ නොහැකිද?

එදා බදුරලියෙහි දුටු ළිඳ තවමත් පිටාර ගලයි. ඒ සත්‍ය සේම එම කර්මාන්තයට සාධාරණය ඉටුවිය යුතුයි. දුප්පත්කම ණය
ගැනීමෙන් පමණක් දුරු කළ නොහැකිය. ඒ වෙනුවෙන් දූරදර්ශීව කටයුතු කළ යුතුය. වැඩි වැඩියෙන් වැඩ කළ යුතුය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment