අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය – “ටවර් නාට්‍ය උළෙල”

84

10 සිට 21 දක්වා එල්ෆින්ස්ටන් හා ටවර් හිදී

ටවර් හෝල් රඟහල පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය “ටවර් නාට්‍ය උළෙල” මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ටවර් හෝල් රඟහල පදනම සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම නාට්‍ය උළෙල සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ සී/ස උපාලි පුවත්පත් සමාගමේ දිනපතා දිවයින, දිවයින ඉරිදා සංග්‍රහය, සන්ඩේ අයිලන්ඩ්, දි අයිලන්ඩ් පුවත්පත් ය. ටවර් නාට්‍ය උළෙල හා පදනමේ ඉදිරි සැලසුම් පිළිබඳව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා සමග ‘මීවිත’ කතාබහක නියැළුණි.

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය - “ටවර් නාට්‍ය උළෙල”

ටවර් හෝල් රඟහල පදනම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක

මෙවර නාට්‍ය උළෙල සැලසුම් කරලා තියෙන්නෙ කොහොමද?

ටවර් හෝල් රඟහල පදනම 2024 වර්ෂය සඳහා සුවිශාල වැඩසටහන් රාශියක් සංවිධානය කරලා තියෙනවා. ඉන් අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය “ටවර් නාට්‍ය උළෙල”ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව උදෙසා රසාස්වාදය තුළින් මානසික තෘප්තියක් උදාකරදීමත්, ආර්ථික අර්බුද හමුවේ වුවද, ප්‍රේක්ෂකයා රංගශාලා වෙත ආකර්ශනය කර ගැනීමත්, විශේෂයෙන් ම තරුණ නාට්‍යකරුන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමත්, නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය උදෙසා ටවර් හෝල් රඟහල පදනම වෙත පැවරී ඇති කාර්ය භාරය නොපිරිහෙලා ඉටුකිරීමටත් යන කාරණා සාක්ෂාත් කර ගැනීමට මෙවරත් ටවර් නාට්‍ය උළෙල ක්‍රියාත්මක කරනු ලබනවා.

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය - “ටවර් නාට්‍ය උළෙල”

මෙවර උළෙල සඳහා පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙලේ හා යෞවන සම්මාන උළෙලේ අවසාන වටය නියෝජනය කළ නාට්‍ය, ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන්ගේ හා ඩිප්ලෝමාධාරීන්ගේ නාට්‍ය නිර්මාණ, නූර්ති හා නාඩගම්, සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලිය 2023 හි ජයග්‍රාහී නාට්‍ය, විශ්වවිද්‍යාල නාට්‍ය, පසුගිය වර්ෂවල දී නාට්‍ය උළෙල සඳහා ප්‍රදර්ශනය නොකළ නාට්‍ය හා 2023 වර්ෂයේ ජනප්‍රියත්වයට පත්වූ නාට්‍ය යන නිර්ණායකයන්ට අනුකූලව, කේෂ්ත්‍රයේ පළපුරුදු විද්වත් මණ්ඩලයක් විසින් මෙවර නාට්‍ය තෝරාගැනීම සිදුකරනු ලැබුවා. ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවන්, නව පරපුරේ නාට්‍යකරුවන් මෙන්ම දක්ෂ ළමා නාට්‍යකරුවන්ගේ නාට්‍ය නිර්මාණ ඊට ඇතුළත්. ඒ අනුව, දිගු නාට්‍ය 16ක්, කෙටි නාට්‍ය 24ක් හා පාසල් නාට්‍ය 02 ක් ද වශයෙන් නාට්‍ය 42 ක් මෙවර නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කෙරෙනවා. පෙබරවාරි 10 සිට 21 දක්වා පුරා දින 12 ක් පස්වරු 3.30 ට හා 6.30 ට ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා දෙකෙහි ප්‍රදර්ශනය කෙරෙන නාට්‍යයන්හි සම්පූර්ණ ප්‍රවේශ පත්‍ර ආදායම නාට්‍යකරුවාට හා නාට්‍යයට සම්බන්ධ ශිල්පීන්ට ම හිමි වීම මෙම උළෙලේ විශේෂත්වයක්.

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය - “ටවර් නාට්‍ය උළෙල”

● වේදිකාගත කරන නාට්‍ය මොනවාද යන්න සඳහන් කළොත්?

එල්ෆින්ස්ටන් රඟහලේදී පෙබරවාරි 10 වැනිදා රිචඩ් මානමුදලිගේ ගේ ආයෙත් ඇවිත්, 11 වැනිදා පරාක්‍රම කිරිඇල්ලගේ සෙක්කුව, 12 වැනිදා නාලක ස්වර්ණ තිලකගේ ඩී්‍රම්ස් සිහින මවන්නෝ, 13 වැනිදා ජගත් මුතුකුමාරණගේ බරවකුඹුකේ පියදෝරිස්, පෙබරවාරි 14 වැනිදා නඳුනි ධනංජනාගේ රතුපාට මල්, කසුන් මධුසංකගේ මං ටොම් හිල්ෆිගර්, භාස්කර ක්‍රිශාන්තගේ පංචාලි, 15 වැනිදා ඩී. කුමාරගේ මාශා සහ වලහා, 16 වැනිදා පාලිත ලොකුපෝතාගමගේ අමර ගිය දිවිය ලෝකේ, 17 වැනිදා චාලක රණසූරියගේ සඳුදා වැටෙන්නෙ සිකුරාදාට, 18 වැනිදා සුරේෂ් මධුෂාන්ගේ එම්. ආර්. ගජනායක, දමිත් හේෂාන්ගේ ගමනක් යං, චතුරංග පෙරේරාගේ ලෙට්ස් මැරී, 19 වැනිදා පැතුම් සඳනුවන්ගේ පැනල යං, හසින්ත මධුමාල්ගේ ඒක ඉස්සර කතාවක්, පූර්ණජිත් අනුරාධගේ තුං තුඹ මල්. 20 වැනිදා තිළිණි ජයමාලිගේ විජය භූමි, රවිඳු වික්‍රමසේකරගේ වේකන්සියක් ඇත, ගයාන් සඳකැලුම්ගේ කළුවර රැඟුමන්, 21 වැනිදා සමන් නන්දනගේ මං ගේට්ටුව වහනවා, හිරාන් සෙනෙවිරත්නගේ සපත්තු මල්, සුමුදු තෙන්නිආරච්චිගේ සුහුරුකිස වේදිකා ගත වනවිට ටවර් රඟහලේ දී පෙබරවාරි 10 වැනිදා සුජීව සෙනවිරත්නගේ පඹයා ගියා ඉස්කෝලේ, 11 වැනිදා පැතුම් දනන්සූරියගේ රුචිරා දේවි, 12 වැනිදා සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාව, 13 වැනිදා මොහොමඩ් රජීගේ කවිකාරයා, 14 වැනිදා ජනක් ප්‍රේමලාල්ගේ ආඬි හතයි කැඳ හැළියයි, 15 වැනිදා උදයසිරි වික්‍රමරත්නගේ හරිම බඩු තුනක්, 16 වැනිදා සුරේෂ් මධුෂාන්ගේ සක්වල රිය, 17 වැනිදා දුලාන් වීරසිංහගේ රැඩිකල් ප්‍රේමය, 18 වැනිදා දිල්ෂාන් තිලංකගේ ටික් ටික්, සරත්චන්ද්‍ර වල්පොළ සහ ආරියවංශ ධම්මගේ මගේ අරමුණ ඇයව බේරා ගැනීම, චතුරංග පෙරේරාගේ සර්කස්, 19 වැනිදා රත්නශීලා පෙරේරාගේ ශ්‍රී වික්‍රම නූර්තිය, 20 වැනිදා සුචින් සූරියආරච්චිගේ ඉස්සා, ජිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාරගේ කොම්රේඩ්, රශ්මික දිල්හාරගේ ඩුබායි, 21 වැනිදා පංචලී විහංගාගේ විචස්, දේදුණු කළුපහනගේ බයිලගහන දවසක්, සංජීව ගුණරත්නගේ ස්නයිපර් වේදිකා ගත කෙරේ. තවද 2023 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ ජයග්‍රාහී නාට්‍ය හතරක්ද වේදිකා ගත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 20 වැනිදා සමන් ලියනආරච්චිගේ ශ්‍රී වික්‍රම නූර්තිය, සිතාරා කැලුම් වීරකෝන්ගේ නිව් ජෙනරේෂන්, කේ. ජී. දිලානි රේණුකාගේ වීදියේ කතාවක්, 21 වැනිදා ගයාන් ඕවිටිගේ කොක් කොක් කොක් කොකෑක් වේදිකා ගත කිරීමට නියමිතයි. මෙම උළෙලේ සංවිධාන කටයුතු සඳහා ටවර් හෝල් රඟහල පදනමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන විජේසුන්දර බණ්ඩාර මහතාගෙන්ද ලොකු සහයෝගයක් ලැබෙනවා.

● ටවර් හෝල් රඟහල පදනම සතු රඟහලවල ප්‍රමිතිය වැඩි කරන්න මොනවගේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කරලා තියෙන්නේ?

2023 වර්ෂයේ රුපියල් මිලියන 25ක මුදලක් භාණ්ඩාගාරයෙන් වෙන් කළා. එම මුදල් රංග ශාලා ප්‍රතිසංස්කරණය සඳහා යොදවනු ලැබුවා. ඒ අනුව, ටවර් රංග ශාලාවේ අලුත්වැඩියාවන් රැසක් සිදුකරනු ලැබුවා. මේ වනවිට රඟහල සම්පූර්ණයෙන් ම පින්තාරු කර අවසන් කරලා තියෙනවා. ඒ වගේම ටවර් රඟහලේ වැසිකිළි පද්ධතිය අලුතින්ම සකස් කිරීමත්, ගබඩා කර තබන ජල ධාරිතාව ලීටර් 8000 දක්වා වැඩිකිරීමටත් කටයුතු කරනු ලැබුවා. ටවර් රඟහලේ වයරින් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමත්, වායු සමීකරණ පද්ධතිය කාර්යක්ෂම වායු සමීකරණ පද්ධතියක් බවට පත්කිරීමටත් කටයුතු කරනු ලැබුවා. ඒ වගේම සරසවිපාය සංකීර්ණයේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීමත්, මීගමුව රුක්මණී දේවි රඟහලේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු කිහිපයකුත් පසුගිය දිනවල සිදුකරනු ලැබුවා.

2024 වර්ෂ සඳහාත් රුපියල් මිලියන 25ක් භාණ්ඩාගාරයෙන් වෙන් වෙලා තියෙනවා. ටවර් රඟහලේ විදුලි ආලෝක පද්ධතියේ හා ශබ්ද විකාශන පද්ධතියේ පවතින සියලුම අඩුපාඩුකම් මෙම වර්ෂයේ සකස්කර පරිපූර්ණ රංග ශාලාවක අත්දැකීම ජනතාවට ලබාදීමට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කරලා තියෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment