ශ්‍රී ලාංකේය සිනමාව තුළ ඉතා දිගු කාලයක් පුරා නිවැරදි නොවන ආකාරයට සමාජගත කෙරුණු මාතෘකාවක් ඉතා සංයමයකින් හා නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කරන්නට ඔහු සමත් විය. සමකාමිත්වය හාස්‍යයක් වන බියගෙන දෙන සුළු විවාදසම්පන්න මාතෘකාවක්ව පැවති මොහොතක “ සයපෙති මල ” සිනමා නිර්මාණය ඉතා විශිෂ්ට ලෙස ඒ ගැන ප්‍රේක්ෂකයාට සමීප කරවන්නට සමත් විය. විසාකේස චන්ද්‍රසේකරම් ගැන හඳුන්වා දීමට ඒ නිර්මාණය වුව සෑහෙන තරම්ය. “මනල් ”, “පාංශු” චිත්‍රපට ඔහුගේ අනෙකුත් සිනමා නිර්මාණයන්ය.

තිර රචකයෙක්, නිෂ්පාදකයෙක්, සිනමා අධ්‍යක්ෂවරයෙක් , රංගන ශිල්පියෙක්, ලේඛකයෙක්, ගීත රචකයෙක්, වේදිකා නාට්‍ය ශිල්පියෙක්, කථිකාචාර්යවරයෙක්, නීතිඥවරයෙක් ලෙස විවිධ භුමිකාවන්ට පණපොවන විසාකේස සමග කරන ලද කතා බහකි මේ.

සිනමාව තුළ මගේ කතිකාවේ ප්‍රධාන අංශය ඩිමොක්‍රසි - විසාකේස චන්ද්‍රසේකරම්

කලාකරුවෙක් ලෙස ඔබ විවිධ කලා මාධ්‍ය ඇසුරු කරගනිමින් නිර්මාණකරණයේ යෙදෙනවා. කලාව කියන්නේ ගීතය, නවකතාව, වේදිකාව, චිත්‍රපට වගේ මේ සියල්ලේ එකතුවක්. නූතන කලාව හා සාහිත්‍ය ඔබේ ඇසට හසුවන්නේ කවරාකාරයෙන්ද?

නූතන සාහිත්‍ය සම්බන්ධයෙන් කතා කරන විට පැති කිහිපයකින් කතා කළ යුතුයි. එක භාෂාවකින් නිර්මාණකරණයේ යෙදෙන බොහෝ දෙනෙක් දන්නේ නැහැ අනිත් භාෂා වලින් මොනවද කෙරෙන්නේ කියලා. මමත් වැඩි වශයෙන් දන්නේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවන නිර්මාණ සම්බන්ධයෙන්. දමිළ භාෂාවෙන් සිදුවන සිනමා නිර්මාණ හැර කවි, කෙටිකතා වගේ දේවල් සම්බන්ධයෙන් මමත් ඒ තරම් දැනුවත් නැහැ. මමත් දෙමළ භාෂාවට දුර්වලයි.

මගේ අදහස නම් අපි දකින දේවල් දිහා බැලුවම සෑහෙන දුරට සෑහීමකට පත්වෙන්න පුළුවන් නිර්මාණ සෑම ක්ෂේත්‍රයකම සිදුවෙනවා.

මට හිතෙනවා ලංකාවේ දේශපාලනික කාරණා සම්බන්ධයෙන් නිර්මාණ තුළින් ඉදිරියට ඒම පිළිබඳ සෑහීමකට පත්වෙන්න බැහැ කියලා. ඇයි කියලා පැවසුවොත් ලංකාවේ තිස් අවුරුදු යුද්ධයක් පැවතියා සහ එම දේශපාලන කාරණා නිවැරදිව ග්‍රහණය කරගෙන සිදු වූ නිර්මාණ අල්පයි. ඉන්පසු විශේෂයෙන් ම එක්දාස් නවසිය අසූහත සහ එක්දාස් නවසිය අනූව අතර කාලයේ සිදු වූ තරුණ නැගිටීම ඇසුරු කරගෙන සිදුවන නිර්මාණ ඉතාම අඩුයි. මෙන්න මේ වගේ ප්‍රශ්න අපිට තිබෙනවා.

ජාත්‍යන්තරය ගැන වෙනම කතා කරන්න ඕන.ගෝලීයකරණය හරහා ලෝකය පුරාම විවිධ නිර්මාණ සිදු වෙනවා. ඒ නිර්මාණ විවිධ භාෂා වලට පරිවර්තනය වෙනවා. එමෙන්ම චිත්‍රපට බාධා වලින් මිදී ජාත්‍යන්තර සිනමා උළෙල ආදියෙහි සම්මානයට පාත්‍ර වෙනවා. ඒ අනුව සාහිත්‍ය හා කලාව ජාත්‍යන්තර වශයෙන් විශාල හුවමාරු වීමක් සිදු වෙනවා.

තව මම හිතනවා අවස්ථාවන් ඇතිවෙලා තිබෙනවා කියලා. ජංගම දුරකථනය භාවිතා කරලා ඡායාරූප ගන්න සහ චිත්‍රපට නිර්මාණය කරන්න, පරිගණකය භාවිතා කරලා AI (Artificial Intelligent) මගින් කතාවක් ලියව ගන්න වගේ අවස්ථාවන් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් ඒ මගින් කලාව’ කියන්නේ මොකක්ද?, මනුෂ්‍යයන් විසින් සිදු කරන දෙයක්ද?, මනුෂ්‍යයන් විසින් තාක්ෂණික සහයෝගය සමඟ සිදුකරන දෙයක්ද?, සම්පූර්ණයෙන්ම රොබෝවරුන් විසින් සිදු කරන දෙයක්ද?, ඒ හරහා මහා කලාව සහ චූල කලාව කියන දෙක හැදෙනවද? කියන ප්‍රශ්න ඉදිරියට එන්න තිබෙනවා කියලා මම හිතනවා.

දුටු සිහිනය සැබෑවක් කරගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා වූ ඔබ 2015 ලාංකීය සිනමාව කැළඹූ පෙතිසයක අරලිය මලේ කතාව “සයපෙති කුසුම” තුළින් ඇරඹි සිනමාත්මක ගමන ගැන සඳහන් කළොත්?

මේ දිනවල තවත් වාර්තා චිත්‍රපටයක වැඩ පටන් අරගෙන තිබෙනවා. අපේ රටේ වාර්තා චිත්‍රපට කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙන්නෙත් නැහැ සහ නිර්මාණය කෙරෙන්නේ ඉතාමත් අඩුවෙන්.

මම චිත්‍රපට තුනක්ම නිෂ්පාදනය කළේ ඉතුරු කරගත් මුදල් ප්‍රවේශමෙන් වියදම් කරමින් තනියම. ඒ චිත්‍රපට තුනම නිර්මාණය කෙරෙන්නේ නිර්මාණකරණයට ඉතාමත් ලැදි පිරිසක් සමග එකතු වෙලා. ඒ පිරිස ලොකු කැප කිරීමක් කළා. ආලෝකකරණය සඳහා ගෙන ආ උපකරණ සඳහා සිදු කළ ගෙවීම් හැර අනෙක් ශිල්පීන් ඔවුන්ගේ නියමිත ගාස්තු අයකිරීමක් කළේ නැහැ. එයාලගේ පවතින ආසාව නිසා මා සමග එකතු වී ඒ නිර්මාණ සිදුකළා. එසේ නොවුනා නම් මට නිර්මාණකරණයේ යෙදෙන්න සිදුවෙන් නැහැ. 2013 වර්ෂයේ මගේ’ මුල්ම නිර්මාණය සඳහා තෝරා ගන්නේ සමාජය තුළ විවාධාත්මක තේමාවක් වූ සමරිසි ආදරය. නමුත් ඊට පසු මම තෝරාගත් තේමා දෙකම ලංකාවේ සිවිල් අරගල සම්බන්ධයෙන් ඉතාමත් දේශපාලනික තේමා ද්විත්වයක්. මම ඒ සඳහා යොමු වෙන්න හේතුව ලංකාවේ ඕනෑම නිර්මාණකරුවෙක් සතුව යුතුකමක් පවතිනවා ලංකාවේ සිදු වූ හිංසාවන් පිළිබඳව සාකච්ඡාවක් නිර්මාණය කරන්න. ඒ හේතුව මත තමයි ඊළඟ චිත්‍රපට ද්විත්වය සමරිසි ආදරය කියන තේමාවෙන් බැහැරව ගොස් ලංකාවේ දකුණේ සහ උතුරේ සිවිල් අරගලය පිළිබඳ කතා කරන්න පෙළඹුණේ. එම චිත්‍රපට තුනම ලෝකයේ පිළිගත් සිනමා උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර වෙනවා. එනිසා සිනමාකරුවෙකු ලෙස මට ජාත්‍යන්තර වශයෙන් යම් පිළිගැනීමක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් සතුටුයි සහ සිනමාකරුවෙකු ලෙස පුළුවන් ආකාරයෙන් ඉදිරියට නිර්මාණකරණයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.

“තහනම් අඩවිය” තුළින් වේදිකාවට පිවිසි ඔබ සාම්ප්‍රදායික වේදිකාව අතික්‍රමණය කරමින් ආ ගමන තුළ මුහුණ දුන් අත්දැකීම් මොන වගේද?

මම මුලින්ම නිර්මාණකරණය ගැන හදාරන්නේ වයස අවුරුදු දාහතේදී. ඒ කාලයේ චිත්‍රපටවල වැඩ කරලා අත්දැකීම් ගත්තා. පසුව ඒ සියල්ල අතහැරලා උසස් පෙළ කරනවා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලබනවා. ඒ සියල්ල නිමා වී මගේ පළමු නාට්‍ය “තහනම් අඩවිය” නිර්මාණය කරනවා. ඉන්පසු නැවත දෙදහස් එකේ “දේවදාසි” නාට්‍ය සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිර්මාණය කරනවා. ඉන්පසු “කටු යහන” නිර්මාණය කරනවා. ඊටපසු මම නාට්‍ය ලිව්වට ලංකාවේ නාට්‍ය කළේ නැහැ. පසුව ඔස්ට්‍රේලියාවේ නාට්‍යය කිහිපයක් කළා.

සිනමාව තුළ මගේ කතිකාවේ ප්‍රධාන අංශය ඩිමොක්‍රසි - විසාකේස චන්ද්‍රසේකරම්

ඉන්පසුව මගේ නාට්‍යකරණය අවසන් වුණා සහ අතහැර තිබූ සිනමාව සම්බන්ධයෙන් නැවත’ හිතන්න පටන් ගත්තා. ඒකට හේතුව මම ඔස්ටේ්‍රලියාවේ ඉන්න කාලයේ සමකාමී පිරිසක් සමග වැඩ කරන අවධියේ ඔවුන්ගේ අවශ්‍යතාවයකට කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය’ කළා. ඉන්පසු මට තේරුණා මට මේ වැඩේ දැන් කරන්න පුළුවන් කියලා සහ මට හිතුනා චිත්‍රපටයක් කරන්න. ඇත්තවශයෙන්ම මගේ තෙවැනි නිර්මාණය “මනල්” කියන්නේ මම මුලින්ම පිටපතක් ලෙස ලියූ චිත්‍රපටය. පසුව මම ලියනවා “සයපෙති කුසුම” සහ “පාංශු” චිත්‍රපටයන්ගේ පිටපත.“පාංශු” චිත්‍රපටය ලෙස නැවත ලියවෙන්නේ නාට්‍ය පිටපතක් ලෙස ලියා තිබූ පිටපතක්.

වේදිකාව ගැන කිව්වොත් හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න අත්දැකීම් ලබා ගන්න’ ඉතාම හොඳ සහ පහසු තෝතැන්නක්. ඒ අත්දැකීම මගේ සිනමාවට බලපානවා.

“රජ සහ ඝාතකයා” ට පසු ඔබේ ග්‍රන්ථයක් එළියට ආවේ නැහැ. ඒ නවකතාකරුවාට මොකද උනේ?

හැමදේම කරන්න බැහැ. ඇත්ත වශයෙන්ම කාලය නැහැ.

රජ සහ ඝාතකයාට කලින් මම ඉන්ග්ලිෂ් වලින් නවකතාවක් ලියලා තිබෙනවා. ඇත්තටම නවකතාවක් ලියන්න සාමාන්‍යයෙන් අවමය අවුරුද්දක්වත් අවශ්‍ය වෙනවා. නමුත් රැකියාවත් සමග මට ඒ වෙනුවෙන් කාලය වැය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. රැකියාවක් නොකරපු පුංචි කාලයක් තුළ තමයි “රජ සහ ඝාතකයා” ලියැවුනේ සහ “සයපෙති කුසුම” චිත්‍රපටය සිදු කළේ.

රැකියාවක් සමග නිර්මාණකරණයේ යෙදීම ඉතාම අසීරුයි. ඒක තමා හේතුව.

පසුගිය රයිගම් සම්මාන උලළේ “පාංශු” සිනමා නිර්මාණයට සම්මාන හිමි වුණා.“පාංශු” හා “මනල්” කියන්නේ උතුරේ සහ දකුණේ සිදු වූ ඝට්ටනයන්ගේ පසුවිපරමක්ද?

ඔව් පසුවිපරමක් තමයි. ඒ නිර්මාණ දෙක එකිනෙක බැඳී පවතින නිර්මාණ. පිටපත් දෙක ඒ අයුරින් නිර්මාණය කළේ හිතාමතාමයි. පාංශු කරනකොට මනල් කරන්න ඕන දේවල් ගැන හිතලා කළේ. සමහර ෂොට්ස් පවා සමානයි. විශේෂයෙන්ම මනල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන අම්මා පාංශු චිත්‍රපටයේ ඉතා සුළු වේලාවකට පෙනී සිටිනවා. හුඟක් අය ඒක දකින්නේ සහ දැකලා නැහැ. ඒ චිත්‍රපට දෙක අතර සම්බන්ධතාවය ගොඩනගන්න එය සිදුකළේ. දේශපාලනික වශයෙනුත් ඒ කතා දෙක එකක් විතරක් කතා කරලා අතාරින්න බැරි තත්ත්වයක් මට තිබෙනවා. ලංකාවේ උතුරේ සිදුවුණු මනුෂ්‍ය ඝාතන සහ හිංසනයන් ගැන කතා කරන විට දකුණේ සිදුවූ දේ ගැන කතා කරන්නත් යුතුකමක් තිබෙනවා. එහෙම කතා නොකිරීමෙන් ඒ සාකච්ඡාවට සාධාරණයක් ඉෂ්ට කරන්න බැහැ කියන තැන තමයි මම ඉන්නේ. අනෙක් දේ කිසි කෙනෙක් සූදානම් වුණේ නැහැ යුද ජයග්‍රහණයකින් එයා උතුරේ සිදුවූ හිංසනයක් ලෙස එය දකින්න. LTTE එක නිසා උතුරේ සිදුවූ හිංසනයන් ගැන කතා කරන්න දෙමළ පිරිස් සූදානම් වුණේ නැහැ. මෙන්න මේ කාරණා නිසා මම හිතුවා චිත්‍රපට දෙකක් භාෂා දෙකකින් එකිනෙකට සම්බන්ධ වන ලෙස නිර්මාණය කරන්න. ඒ විදිහට තමයි එම නිර්මාණ දෙක සිදු වෙන්නේ.

ඔබේ නිර්මාණ ඉලක්ක කරනුයේ අන්තර්ජාතික සිනමා උළෙලවල් කියලා මම කිව්වොත්, ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

නැහැ. මෙහෙමයි මම කියන්නේ නැහැ මම ජාත්‍යන්තර සිනමා උළෙලවල් ඉලක්ක කරලා නැහැ කියලා. නමුත් මගේ මුල්ම ප්‍රේක්ෂකාගාරය තමයි ලංකාවේ ප්‍රේක්ෂකාගාරය. චිත්‍රපට තුනම දිහා බැලුවම ඒ තුනේම තිබෙන්නේ සරල ආඛ්‍යාන රීතියක්. නොතේරෙන දේවල් ඒවා ඇතුලේ නැහැ. සාමාන්‍ය කෙනෙක්ට බලලා ඒ දේවල් විඳින්න පුළුවන් විදියට තමයි චිත්‍රපට තුනම සකස් කරලා තිබෙන්නේ. ඒ තුනටම අදාළ වෙන්නේ ලංකාවේ දේශපාලනික පසුබිම සහ ඒ පිළිබඳ ලොකු සාකච්ඡාවක් කරන්න මම උත්සාහ කරලා තිබෙනවා.

සාමාන්‍යයෙන් අන්තර්ජාතික සිනමා උළෙලවල් වෙත යන විට අදාළ අන්තර්ගතයන් පවතිනවා නමුත් මෙම චිත්‍රපට එකකවත් එම අන්තර්ගතයන් ඇතුළත් වෙලා නැහැ. ඒ වගේම කාලයෙන් කාලයට එන අන්තර්ජාතික සිනමා ප්‍රවණතා මේ නිර්මාණ තුළ ඇතුළත් වෙලා නැහැ. මගේ සම්පූර්ණම අවධානය තිබුණේ ලංකාව සහ ලංකාවේ ප්‍රේක්ෂකයන් වෙත.

සයපෙති කුසුම චිත්‍රපටය ගත්තම ඒ තුළ ගීත දෙකක් ඇතුළත් වෙලා පවතිනවා. ගීත ඇතුළත් කරලා ජාත්‍යන්තර සිනමාවට අරගෙන යන්න අමාරුයි. එහෙම ගෙනියන්න පුළුවන් සිනමා උළෙලවල් කිහිපයක් පවතිනවා. ඒ නිසා සයපෙති කුසුම වගේ චිත්‍රපටයකට ජාත්‍යන්තරයට යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. එය උචිත LGBTQ එහෙමත් නැත්නම් සමකාමී සිනමා උළෙලවල් වෙත. ලෝකයේ පැවති සෑම LGBTQ උළෙලකම වගේ සයපෙති කුසුම නියෝජනය වුණා.

පාංශු චිත්‍රපටය සම්මාන උළෙලවල් විසි ගාණකට නිර්දේශය වී තිබුණත් මනල් චිත්‍රපටය තරම් දුර යන්න පාංශු චිත්‍රපටය අසමත් වෙනවා.

ඒ චිත්‍රපට සියල්ල ලංකාවේ ප්‍රේක්ෂකයන් උදෙසා තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ සහ ඒත් සමගම අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කරන්න ලැබීම බෝනස් එකක් විදියට තමයි මම දකින්නේ. මම එය අතාරින් නැහැ ට්‍රයි කරනවා.’ මෙතුවක්කල් මම නිර්මාණ සිදු කළේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට. නමුත් ඉන් අදහස් කරන්නේ නැහැ ඉදිරියේදී මම ජාත්‍යන්තර සිනමාව පමණක්ම ඉලක්ක කරගෙන නිර්මාණ සිදු කරන්නේ නැහැ කියන එක. ඉදිරියේදී ජාත්‍යන්තර සිනමාව පමණක්ම ඉලක්ක කරගෙන වැඩ කරන්නත් ඉඩ තිබෙනවා.

සිනමාව තුළ මගේ කතිකාවේ ප්‍රධාන අංශය ඩිමොක්‍රසි - විසාකේස චන්ද්‍රසේකරම්

ඔබේ බොහෝ නිර්මාණ සඳහා විෂය වන්නේ ලාංකීය සමාජය තුළ අඳුරේ අතපත ගාන මාතෘකාවක්. ඒ තුළ ඔබ කැපී පෙනෙන චරිතයක්’ සහ සමාජය තුළ පසුගිය වකවානුවේ විශාල කථිකාවක් නිර්මාණය වුණා. LGBTQ ලෝක මට්ටමින් කතා කරන මාතෘකාවක්. නීතිවේදියෙකු සහ කලාකරුවකු ලෙස ඇයි ඔබ එවැනි තේමාවක් ගැන වැඩි උනන්දුවක් දක්වන්නෙ?

විශේෂයෙන්ම සයපෙති කුසුම චිත්‍රපටය නිර්මාණය කරන කාලයේ මම දැනගෙන හිටියා මේ මාතෘකාව ලංකාව තුළ විශාල අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරන බව.

ආර්ථික අර්බුදය, විවිධ දූෂණ වංචා සිදුවන අපේ රටේ ඒ සඳහා මූලය පිළිබඳ සොයා බැලූ විට හේතුව නීතියේ ආධිපත්‍යය නැති වීම. එක් එක් පුද්ගලයන්ට එක් එක් අයුරින් නීතිය ක්‍රියාත්මක වීම තුළින් මෙකී සියලු ප්‍රශ්න නිර්මාණය වෙනවා. වැඩවසම් විදියට ඔවුන්ගේ ගජමිතුරන් අතර ආර්ථිකය සහ මේ රටේ සියලුම අනෙකුත් සම්පත් බෙදා හැදෙන ලෙස ඔවුන් වැඩපිළිවෙළක් සකස් කරගන්නවා.

මේ තුළ මේකෙම කොටසක් ලෙස තමයි මම LGBTQ සමානාත්මතාවය දකින්නේ. එය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ වැදගත්ම කාරණාව නීතියේ ආධිපත්‍යය. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු විට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අන්න ඒ නිසයි එම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය තැන් ගැන මගේ සිනමා නිර්මාණ තුළින් කතා කරන්න උත්සාහ කරන්නේ. මේ හැම චිත්‍රපටයක් තුළ ම මම ගේන්න උත්සාහ දරපු කතිකාවේ ප්‍රධාන අංගය තමයි ඩිමොක්‍රසි කියන එක. එවිට අපට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. එම පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ යුතුයි. LGBTQ පුද්ගලයන්ටත් සමාන ලෙස සැලකුවොත් පමණයි නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වෙන්නේ. එහෙම නොවුණොත් එයම හේතුවක් ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටෙන්න. එම බිඳවැටීම හේතු වෙනවා අපි මේ මුහුණදෙන සියලුම අර්බුදයන්ට. මම විශ්වාස කරන්නේ එහෙම. සියල්ලේ මූලය ප්‍රජාතන්ත්‍රවාදය නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සහ ස්ථාපනය හරහා අපිට පුළුවන් වෙනවා අපේ මේ සමාජය ඉදිරියට අරගෙන යන්න.

කලා ක්ෂේත්‍රයට පා තබන තරුණ ප්‍රජාවට දෙන්නෙ මොන වගේ උපදෙසක්ද?

අපි කාටවත් උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ. දැන් පවතින තත්ත්වයත් සමග තමන් විසින්ම තමන්ගේ දේවල් සොයාගෙන අධ්‍යනය කරන්න පුළුවන් වාතාවරණයක් පවතිනවා. ස්මාර්ට් දුරකථනය හරහා ඕනෑම කෙනෙකුට ලෝකයේ ඕනෑම විෂයක් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්.

ඕනෑම උපදෙසක් ලබාදෙන්න ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණකරුවන් සහ සිනමාකරුවන් ඉන්නවා. ඒ නිසා භාෂාව තමයි වැදගත්. භාෂාව දන්නවනම් ඒ දේ කරගන්න පුළුවන්.

මම හැම කෙනාටම කියන්නේ ඉතාමත් හොඳ අධ්‍යයනයක සිටින්න අවශ්‍යයි තමන් කරන්න යන්නේ කුමක්ද යන්න පිළිබඳව. ඒ අධ්‍යයනයන්හිදී සමාජ මාධ්‍ය විශේෂයෙන්ම youtube හරහා ලැබෙන අධ්‍යාපනයට වඩා ටෙක්ස් බුක් (Text Book) සහ විෂයයන් සම්බන්ධයෙන් ලියැවුණු පොත් කියැවීම ඉතාම වැදගත්.

චිත්‍රපට කරන්න ඉන්නවනම් ඒ සම්බන්ධයෙන් පවතින පොත්පත් අනිවාර්යෙන්ම කියැවිය යුතුයි. දැන් ඉන්න පරපුර පොත්පත් කියවන්න සූදානම් නැහැ. එයාලා බලන් ඉන්නේ එයාලට දැනුම කොටලා පොවනකන්. දුරකථනය ඉස්සරහා, ලැප්ටොප් පරිගණකය ඉස්සරහා ඉඳගෙන කවුරුහරි කියන එක අහගෙන ඉගෙන ගන්න තමයි ඒගොල්ලෝ හැමෝම සූදානම් වෙලා ඉන්නේ. පොත පතට දෙන වටිනාකම ඉතාම අඩුයි. අකුරු හරහා දෙන අධ්‍යාපනය මෙන් ගැඹුරින් අධ්‍යාපනයක් ලබාදෙන්න බැහැ සමාජ මාධ්‍ය හරහා. ඒ නිසා ඒ කියවීම ඉතාම වැදගත් කාරණයක් ලෙස මම සලකනවා. ජාත්‍යන්තර මට්ටමෙන් යමක් කරන්න ඉන්න අය මෙන්ම සියලු දෙනාම තමන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගැනීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අනිත් කාරණය තමයි හදිසි වෙලා නිර්මාණ කරන්න එපා නිර්මාණයට අවශ්‍ය කාලය දීලා නිර්මාණයක් කරන එක ඉතාමත් වැදගත්.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment