මිනීමැරුම් රැසක සැකකරු හොර පාස්පෝට් එකකින් ඩුබායි පනින්න යද්දී මාට්ටු

299

පීඑච්අයි ඝාතනයටත් ඔත්තු බලලා

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සඳහා පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙනත් නමකින් කූට ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පලායෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය (Facial Recognition System) මගින් හඳුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙරේදා (06 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඇල්පිටිය, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පත්තිනි දේවගේ තිවංක මනෝහර නමැති අයෙකි. ඔහු මෙරටින් පලා යෑමට මදුරදූවගේ දිල්ෂාන් මධුසංඛ ද සිල්වා යන ව්‍යාජ නමකින් කූට ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන තිබුණි. කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර එය හැර ගොස් ඇති මෙම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සඳහා ඔත්තු බැලූ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන තිබේ.

ඔහු 6දා රාත්‍රී 07.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පලා යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (07දා) අලුයම 05.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment