බාලදක්‍ෂ සම්මානය දිනූ ජයඳුනි දුෂ්කර දෙමළ පාසලකට අතහිත දෙයි

36

අග්‍රාමාත්‍ය බාලදක්ෂ බාලිකාවක් වන ජයඳුනි කේවින්දි ජයසේකරට ලැබුණු ජනාධිපති බාලදක්ෂ සම්මානය යොදා ගෙන දුෂ්කර ප්‍රදේශයක පිහිටි බප/ මතු /මද්දෙගෙදරවත්ත දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ සෙල්ලම් මිදුලේ උපකරණ අලුත්වැඩියාව, පානීය ජල පද්ධතිය විධිමත්ව සකස් කිරීම, සියලු ම සිසුන්ට දිවා ආහාරය ලබාදීම හා පන්තිකාමර නාමපුවරු සකස් කිරීමට පියවර ගැනිණි. මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මූල්‍ය ප්‍රතිපාදන ඇගේ දෙමාපියන් විසින් දැරෑ අතර ශ්‍රමදායකත්වය ඇගේ සහෝදර බාලදක්ෂ බාලිකාවන් ලබාදිනි. ව්‍යපෘතියේ ආරම්භක දින අදහස් දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පති එම්.ටී.එම්. ෆායිස් මහතා ප්‍රකාශ කළේ මෙවැනි දුෂ්කර ්ප්‍රදේශයක පිහිටි අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබනා දරුවන් වෙනුවෙන් මෙවැනි සේවාවක් සිදු කිරීම සුවිශේෂී වන බවය.

මෙම ප්‍රජා සේවා ව්‍යපෘතිය මද්දෙගෙදරවත්ත දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ සිදු කිරීම පිළිබඳ අදහස් දැක්වූ ගුරුභවතකු මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීයකු වන ගාමිණී ජයසූරිය මහතා කියා සිටියේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ අධ්‍යාපනය ලබනා මෙවැනි පාසලක් තම ජනාධිපති සම්මාන ප්‍රජා සේවාව සිදු කිරීමට ජයඳුනි කේවින්දි බාලදක්ෂීකාව කටයුතු කිරීම අගයන අතර ම එය ජාතීන් අතරත අන්‍යොන්‍ය සුහදත්වය හා සහජීවනයට ප්‍රබල පූර්වාදර්ශයක් ලබාදෙන බවය.

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment