අකුරට යන වෙලාවේ ඒ. වී. සුරවීර

1329

උසස් පෙළට සිංහල .10

2023/24 වසර උසස් පෙළ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී විසින් සපයන ලිපි පෙළක් දිවයින ‘වටමඬල’ ඔස්සේ පළ කිරීමට අප විසින් තීරණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් විරාජ් ධර්ම ශ්‍රී සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දක්වයි. ඊට අමතරව ඔහු කවියකු, විචාරකයකු ලෙසද කටයුතු කරයි.

‘පෑදී දියට බොර දිය’ කෘතියෙන් උපුටා ගත් ‘අකුරට යන වෙලාවේ’ කෙටි කතාවේ චරිත නිරූපණය Jhumpa Lahiri f.a Interpreter of Maladies කෙටි කතාවට ළං වේ. ජුම්පාගේ කෙටි කතාවේ මිස්ට දාස් සහ මිසිස් දාස් යන චරිත දෙක සුරවීරගේ මිස්ට කරුණාපාල සහ මිසිස් කරුණාපාල යන චරිතවලට බෙහෙවින් සම වේ. Interpreter of Maladies කෙටි කතාවේ තීනාගේ චරිතය මෙන් ම අකුරට යන වෙලාවේ කෙටි කතාවේ මැණිකාගේ චරිතය ද පාඨකයා සංවේදී කරනුයේ අනුකම්පා විරහිත වැඩිහිටියන්ගේ අසංවේදී බව හේතුවෙනි.

● කෙටි කතාවට පදනම් වූ සමාජ සංස්කෘතික පසුබිම

බොරු මානයත් පුහු ආටෝපයත් පිරුණු මධ්‍යම පාන්තික සමාජය පීඩා විඳිනුයේ ඒ මවා ගත් උජාරු සිතුවිලි නිසාවෙනි. මධ්‍යම පාන්තික බහුතරය සිත පුරවා ගෙන ඇත්තේ ඉරිසියාවත් මානයත් ඔවුන් ලද අධ්‍යාපනය නිසා මතු වූ පණ්ඩිතකමත් හේතුවෙන් වන අතර ඒ සියල්ලේ අවසන් ඵලය වනුයේ අසංවේදී බව යි. අකුරට යන වෙලාවේ කෙටි කතාවෙන් ආත්මාර්ථයත් පන්ති මානයත් නිසා ගොරෝසු වූ ඒ අසංවේදී බව හොඳින් දැකිය හැකිය.

● කෙටි කතාවේ ශෛලිය

යථාර්ථවාදී ශෛලියෙන් රචිත අකුරට යන වෙලාවේ කෙටි කතාවෙන් කතුවරයාගේ දේශපාලනික ආකල්ප හෙළි වේ. යථාර්ථවාදය පිළිබඳව මහාචාර්ය ඒ. වී. සුරවීරගේ සාහිත්‍ය විචාර ප්‍රදීපිකා ග්‍රන්ථයෙහි සඳහන් වනුයේ යථාර්ථය යනු සැබෑ ජීවිතයේ පිටපතක් නොවන අතර ජීවිතයේ යථා අර්ථය ප්‍රකාශ වන ක්‍රියාකාරී පුද්ගලයන්ගෙන් ගහන ලෝකයක් බවයි. මිනිසා පිළිබඳව මතු පිටින් පෙනෙන සකල විධ තතු විස්තර කිරීමට වඩා වැදගත් වනුයේ ජීවිතය දෙස ගැඹුරින් බලා එහි පුළුල් අරුත් ගෙන හැර පෑම බව මහාචාර්ය ඒ. වී. සුරවීර එහි සඳහන් කරයි.

● කෙටි කතාවේ පරිසර වර්ණනා සහ සංකේත භාවිතය

අකුරට යන වෙලාවේ කෙටි කතාවේ පරිසර වර්ණනා අඩුවෙන් අන්තර්ගත වන කෙටි කතාවකි. මෙහි පරිසර වර්ණනා අඩුවෙන් අන්තර්ගත වනුයේ සිදුවීම් විස්තර කිරීමට කෙටි කතාකරුවා දක්වන නැඹුරුව හේතුවෙනි. කෙටි කතාවට තරම් නොවන තරමට සිද්ධි විස්තර කිරීමට තැත් කරන කල යටපත් වනුයේ කලාත්මක ඥානය යි. අපේ රටේ මහාචාර්යවරුන් කෙටි කතාකරුවන් බවට පත් වන විට අධ්‍යාපනයට යටවන කලා නුවණ බහුලව දැකිය හැකිය.

මැණිකාගේ පියා, පුංචිරාල ඇවිත් මැණිකා යළි ගෙදර රැගෙන යන්නේ මැණිකාගේ විරෝධය නොතකමිනි. මැණිකා ඉගෙනීමට ඇලුම් කළ ද වැඩකාරියක ලෙස මෙහෙ කළ ද අනෙක් දැරියන් දෙදෙනා සමඟ සෙල්ලම් කිරීමට බෙහෙවින් ප්‍රිය කළා ය. ඇයට දැරියන් සමඟ පාසල් යෑමට නොහැකි වනවා පමණක් නොව ඔවුන් සමඟ සෙල්ලම් කොට විනෝද වීමට ඇති අවස්ථාව ද අහිමි වේ. ඇයගේ සිත සොවින් පිරීයාම එබැවින් අරුමයක් නොවේ.

“ උදය වරුවේ තිබූ හිරු එළිය වහා නැති වී ගොස් අහස පුරා වැසි අඳුර පැතිරිණ. කළු වලාකුළු අහස මුදුනට තල්ලු වී අවුත් සූර්යයා මුළුමනින් ම වැසී ගියේ ය. ”

ඉහත පරිසර වැනුම මැණිකාගේ සිතෙහි පැවැති ඒ අඳුරු බව දැක්වීමට උචිත සංකේතාත්මක බවින් පිරී තිබේ. මෙබඳු වැනුම් බහුලව මේ කෙටි කතාවේ දැකිය නොහැකි වුවද කතාව අවසානයේ යොදා ඇති මේ වැනුම බෙහෙවින් ප්‍රබලය.

● විස්තර සහ දෙබස්

අකුරට යන වෙලාවේ කෙටි කතාව පුරා විස්තර සහ දෙබස් සුලබ ය. බොහෝ විට ඒ දෙබස් චරිත නිරූපණය සඳහා ඉවහල් කර ගන්නා කතුවරයා සිරීගේ දෘෂ්ටියෙන් කතාව ඉදිරිපත් කළ ද සිරීගේ චරිතය අප්‍රධාන කොට මැණිකාගේ සහ මිසිස් කරුණාපාලගේ චරිත මතු කිරීමට දෙබස් යොදා ගනියි. කෙටි කතාකරුවා යොදා ගන්නා දෙබස් බොහෝ විට කෙටිය. මධ්‍යම පාන්තික ජීවිතයේ පුහු බවත් නිර්ධන පන්තියේ සංකේතයක් බඳු මැණිකාගේ චරිතයේ උදාරත්වයත් මැවීමට කෙටි කතාකරුවා දෙබස්, සංවාද, කවි යොදා ගනියි.

චරිත නිරූපණය
මිස්ට කරුණාපාල සහ මිසිස් කරුණාපාල

ආත්මාර්ථයත් පන්ති මානයත් නිසා යහගුණ යටපත් වුවද මධ්‍යම පාන්තිකයකු වන මිස්ට කරුණාපාල තරමක හෝ හදවතේ තෙතමනයක් ඇති පුද්ගලයෙකි. මිසිස් කරුණාපාල මධ්‍යම පාන්තික සමාජයේ ඉදිමුණු සිතුම් පැතුම් හිසට ගත් පුහු මාන්නය නිසා මතු වන ද්වේශයෙන් යුතු අසංවේදී චරිතයකි. ඇය මැණිකා දෙස බලනුයේ තරමක අහංකාර ද්වේශ සිතකින් මිස අනුකම්පා සහගතව නොවේ. මධ්‍යම පාන්තික සමාජයේ දුබලතා හෙළි කිරීමට කෙටි කතාකරුවාට වඩාත් රුකුල් වනුයේ මිසිස් කරුණාපාලගේ චරිතයයි.

● සිරී (විශ්ව විද්‍යාල ශිෂ්‍යයා)

සිරී විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු වන අතර ඔහුගේ චරිතය කරුණාබර සංවේදී චරිතයකි. ඔහු මැණිකාට අනුකම්පා කළේ ය. මැණිකාගේ අව්‍යාජ, ළමා හැඟුම්වලට ඔහු ඇලුම් කළේ පියකු දරුවකු දෙස බලන තරමේ සෙනෙහසිනි. ඇතුළාන්තයට නැමුණු සිරී හැඟුමට වඩා බුද්ධියට ඉඩදී වෙසෙන තරුණයෙකි.

● පුංචිරාල

මැණිකාගේ පියා පුංචිරාල යි. පුංචිරාල අහිංසක නූගත් ගැමියෙකි. සිය දියණියට සෙනෙහැති පුංචිරාල, දුප්පතකු වුව ද මෝඩයකු යැයි සැලැකිය නොහැකි ය.

කෙටි කතාකරුවාගේ අරමුණු කොමියුනිස්ට් වාදය හා පෑහේ. ඉරිසියාවෙන් හා වස්තු ලෝභයෙන් තොර වූ දයාවෙන් පිරිපුන් මනුෂ්‍ය වර්ගයක් පහළ කිරීම කොමියුනිස්ට් වාදයේ අරමුණ බව ‘මානව වාදය හා එතෙර වියත්හු’ කෘතියෙහි මාර්ටින් වික්‍රමසිංහ කියයි. ඒ. වී. සුරවීරගේ අකුරට යන වෙලාවේ කෙටි කතාව, වික්‍රමසිංහ සඳහන් කරන ඒ කොමියුනිස්ට් හරය මතු කිරීමට ගත් තැතක් විය හැකිය.

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි කනිටු විදුහල

advertistmentadvertistment
advertistmentadvertistment