සජබ මැයි දින රැළියට ලක්ෂයකට අධික පිරිසක් එනවා

31

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

සමගි රටක් අනගි හෙටක් තේමාවෙන් පවත්වන සජබ මැයි දින රැළියට පාක්ෂිකයින් ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මේවන විට සියලු‍ම කටයුතු සූදානම් බව සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් ඔහු මෙසේද පැවැසීය.

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් දවස් තුනක විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුවා. ඒ විවාදයේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරු පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කරුණුවලට පිළිතුරු නොදී කාදිනල් හිමියන්ට බැන වදිමින් කටයුතු කළා. ඒ වගේම විපක්ෂය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ආණ්ඩුව පාර්ශ්වය කටයුතු කළේ නෑ. විපක්ෂය මතු කළ කරුණු කාරණා අනුව පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ඉදිරියට ගෙන යෑම සඳහා ආණ්ඩුව නිසියාකාරව කටයුතු කළේ නෑ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් බවට පත්වුණ පිරිසට නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා එල්ල කරලා තිබෙනවා.ඒ නඩු විභාගයේදී සාක්ෂිකරුවන් හෙළිදරව් කරලා තිබෙනවා. සහරාන් ෂැංග්‍රිල්ලා හෝටලයේ 616 වැනි කාමරයේ 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ ලැගුම් ගත්තාට පසුව 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බය පිපිරුණාට පස්සේ අප්‍රේල් 19 වැනිදා සිට ආපස්සට ඔහුගේ කාමරයේ

ලැගුම් ගත් අය පිළිබඳ කරුණු වාර්තා වෙන්නේ නැති බව උසාවියේදී හෙළි දරව් වෙලා තිබෙනවා. නමුත් අනෙක් කාමරවල හිටපු පිරිසගේ විස්තර හෙළි දරව් වෙලා තිබෙනවා. ෂැංග්‍රිල්ලා හෝටලයේ 616 වැනි කාමරයේ සහරාන් ලැගුම් ගන්න කලින් කවුද හිටියේ කියන දේ පිළිබඳව හෙළි දරව් වෙලා නෑ. නමුත් එම කාමරයේ පිරිස් සිට ඇති බව උසාවියේදී කරුණු වාර්තා වෙලා තිබෙනවා. ෂැංග්‍රිල්ලා හෝටලයේ සේවකයෙකුගේ සාක්ෂියේ ඒ බව සඳහන් වෙලා තිබෙනවා. නමුත් කාමරයේ හිටියේ කවුද කියලා තොරතුරු සඳහන් වෙන්නේ නෑ. අනෙකුත් කාමරවල හිටියේ කවුද කියලා තොරතුරු සඳහන් වෙලා තිබෙනවා.

ඒවගේම සමගි ජනබලවේගයේ මැයි රැළිය කොළඹ නගරය මූලික කරගෙන පවත්වන්න මේ වනවිට සියලු‍ කටයුතු සුදානම් කරලා තිබෙනවා. එම මැයි දින රැළියට ලක්ෂයකට වැඩි පිරිසක් ගේන්න මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. මැයි දින පෙළපාලිය ගුණසිංහපුර ක්‍රිඩාංගනයෙන් දවහල් 1.00 ට ආරම්භ කරනවා. අපේ මැයි දින රැළිය ඓතිහාසික මැයි දින රැළියක් බවටත් පත්කරනවා. ඒ සඳහා පක්ෂයේ සංවිධායකයන් සහ පක්ෂ නායකයින් වැඩ කරගෙන යනවා. වාර්තාගත මැයි දින රැළියක් සමගි ජනබලවේගය පවත්වනවා. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදි බලවේග සහ සියලු‍ ජනතාවට ආරාධනා කරනවා. සමගි රටක් අනගි හෙටක් තේමාවෙන් පවත්වන මැයි දිනයට සහභාගි වෙන්න.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment