බෝතලයට රණ්ඩු වී බාර් හිමිකරුට පිහියෙන් ඇනලා

71

කොහුවල පොලිස් වසමේ මත්පැන් හල් හිමියෙකු සහ තවත් පුද්ගලයකු අතර මත්පැන් බෝතලයක් ඉල්ලා ඇතිවූ බහින් බස්වීමකින් පසු ඇතිවූ පිහිඇනුමකින් තුවාල ලැබූ මත්පැන් හල් හිමිකරු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා කොහුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත පැමිණ තමාගෙන් මත්පැන් බෝතලයක් ඉල්ලා සිටි බවත් පසුව ඔහු පිටව ගොස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මත්පැන් හලට පැමිණ සිටි අවස්ථාවේ නැවත පැමිණ තමාට පිහියෙන් ඇන්න බවත් රෝහල් ගතව සිටින මත්පැන් හල් හිමිකරු වන රංජිත් දයාලාල් නමැති තිදරු පියා මාධ්‍යට ප්‍රකාශ කළේය.

තමාට පිහි පහර එල්ල කළ පුද්ගලයා කොහුවල පොලිසියේ අපරාධ ස්ථානාධිපතිවරයා සමඟ පැමිණි බවට ද මත්පැන් හල් හිමිකරු චෝදනා කළේය. සැකකරු විසින් පිහි ඇනුම සිදුකරන අයුරු මත්පැන් හලේ සවිකර තිබූ සී සී ටී වී කැමරාවේ පටිගත වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන පෙරේදා (17 දා) සවස නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු බවත් ඔහු නිතර කොහුවල පොලිස් ස්ථානයට පැමිණ පිරිසිදුකිරීම් වලට සහාය ලබාදෙන පුද්ගලයකු බවත් එම නිලධාරියා කීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ලැබී ඇති පැමිණිල්ලට අනුව සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් පොලිස් නිලධාරීන්ට එල්ලවන චෝදනා තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.
චමින්ද සිල්වා – ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment