හමුදා ගිලන් රියක් පාසල් වෑනයක මුහුණට මුහුණ ගැටේ – හතකට තුවාල

94

දියතලාව යුද හමුදා කඳවුරට අයත් ගිලන් රථයක් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඕපනායක උඩවෙල දී මුහුණට මුහුණ ගැටීමෙන් හත්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ඕපනායක පොලිසිය පවසයි.මෙම රිය අනතුර ඊයේ (20 දා) උදේ 6.40 ට පමණ සිදුව ඇත.

ගිලන් රථය දියතලාව සිට නාරාහේන්පිට රෝහල දක්වා ගමන් කරමින් තිබියදී සහ වෑන් රථය ඕපනායක සිට බලංගොඩ දෙසට පාසල් ළමුන් තිදෙනෙක් සමග ධාවනය වෙමින් තිබියදී ප්‍රධාන මාර්ගයේ උඩවෙල අමුණ අසලදී මෙම රිය අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ රියැදුරු සහ පාසල් ළමුන් තිදෙනෙක්ද, ගිලන් රථයේ රියැදුරු සමග හමුදා නිලධාරීන් තිදෙනෙක් සිට ඇත. තුවාල කරුවන් ප්‍රතිකාර සඳහා බලංගොඩ සහ කහවත්ත යන රෝහල් වෙත ඇතුළත් කර ඇත.

වෑන් රථයේ රියැදුරු කහවත්ත රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහල වෙත මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. අනතුරෙන් වාහන දෙකටම හානි සිදුව ඇත. ඊයේ උදේ පැවති අයහපත් කාලගුණය සහ අධික වේගය අනතුර සිදුවීමට හේතුවිය හැකි බව පොලිසිය පවසයි.ඕපනායක පොලිසියේ රථවාහන ස්ථානාධිපති පො.ප. ඩී. එච්. ජයන්ත මහතාගේ උපදෙස් මත පො.සැ. රාජපක්ෂ (4709) මහතා ඇතුළු නිලධාරීන් මූලික විමර්ශන සිදු කළහ.

ඕපනායක – ජයලත් එම්. විමලසේන

advertistmentadvertistment
advertistmentadvertistment