ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් කිසිම සම්බන්ධයක් නෑ – සභාපති ධම්මික ආටිගල

396

හත්දෙනකුට මරු කැඳවමින් දහනවදෙනකුට තුවාල සිදුකළ දියතලාව නරියාකන්ද ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගයට ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමයේ (Sri Lanka Automobile Associtaion) කිසිදු සම්බන්ධතාවක් නැතැයි එම සමාගමේ සභාපති ධම්මික ආටිගල මහතා පැවසීය.

තම ආයතනය මාර්ග නීති සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් බවත් ඔටෝ මොබයිල් නම භාවිත කරමින් වෙනත් ආයතන ද කටයුතු කරන බවත් ෆොක්ස් හිල් තරගාවලිය සංවිධානය කර ඇත්තේ එවැනි ආයතනයක් බවත් ආටිගල මහතා කියා සිටී.

ඇතැම් පිරිස් මෙම අනතුරත් සමග ප්‍රසිද්ධ ආයතනයක් නිසා තම ආයතනයට චෝදනා කළත් එයට තම ආයතනයේ සම්බන්ධයක් නොමැති බවත් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඒ මහතා පැවසීය.

මෙවැනි තරගයක් පැවැත්වීමට බලය පවතින්නේ සිලෝන් මෝටර් ස්පෝර්ට් සමාජය (Ceylon Motor Sports Club – CMSC) වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ආයතනයකට බවත් එහෙත් ෆොක්ස් හිල් තරගය පවත්වා ඇත්තේ එවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් නැති සංගමයක් විසින් බවත් ඒ මහතා අවධාරණය කරයි.

ක්‍රිකට් සඳහා ICC,‍ පාපන්දු සඳහා FIFA, රගර් සඳහා IRB වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ආයතන පවතින ආකාරයෙන් මෝටර් රේස්, මෝටර් රැලි සංවිධානය කිරීම සඳහා මෙරට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇත්තේ CMSC ආයතනය පමණක් බවද ඒ මහතා කීය.

මෙවැනි තරග පැවැත්වීමේදී FIA ආයතනය මෝටර් රථ ධාවන තරග නියාමනය කිරීම, නිලධාරීන් පුහුණු කර සහතිකපත් නිකුත් කිරීම, ධාවන තරගවලට ඉදිරිපත් වන රියැදුරන් සඳහා ධාවන බලපත්‍ර (ලයිසන්) නිකුත් කරන බව පැවසූ ඒ මහතා, සෑම වසරකම අප්‍රේල් මස මහගස්තොට හිල් සමාජය පවත්වන තරගය (Mahagastota Hill Club) CMSC සහ FIA අනුබද්ධිතව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංවිධානය කරන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරයට සම්බන්ධ ලෝකයේ විශාලතම ආයතන වන FIA නියෝජනය කරන බවත් එහි උපදෙස් සහ ප්‍රමිතිය අනුව ක්‍රීඩා සංවිධානය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අනෙකුත් ආයතනවල වගකීම විය යුතු බවත් ධම්මික ආටිගල මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment