නිවාස නඩුවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්

37

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත්තේ යැයි කියන රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල කිංසි පාරේ සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් මිලදී ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30දා) නියෝග කළේය.

විත්තිකරු එම නිවස මිලදී ගැනීම සඳහා යෙදවූ මුදල නීති විරෝධී ආකාරයෙන් උපයාගත් බවට ඔප්පු කිරීමේ වගකීම පැමිණිල්ල එනම් නීතිපතිවරයා සතු වුවත් එකී චෝදනා සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම තීන්දුව නිකුත් කළේය. 2016 යහපාලන රාජ්‍ය සමයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන ලද විමර්ශනයක් අනුව 2017 වසරේදී නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

මෙම නඩුකරයට පාදක වූ සිද්ධියට සමගාමීව නීතිපතිවරයා විසින් සිය සේවාදායකයාට එරෙහිව වෙනත් මහාධිකරණයක් හමුවේ පවරා තිබූ නඩුවක චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කර ඇති බව අධිකරණයට පැවසූ විත්තියේ නීතිඥවරයා ඒ මත පදනම්ව මෙම නඩුවේ චෝදනාවලින් ද විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව කරුණු දක්වමින් විත්තියේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පෙරකී පළමු නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම එම නඩුවේ චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කර ඇති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම මෙම නඩුවේ චෝදනාවලින් ද විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙසටය. කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට නියම කොට තිබූ අතර විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්ති කූඩුවේ සිට සිය නිදහසට කරුණු දක්වමින් ප්‍රකාශයක් සිදුකොට තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ නුවන් ද අල්විස් මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ කංචන රත්වත්තේ මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment