දකුණේ වී කිලෝ ලක්‍ෂ 80ක් ගන්න හිටියත් ලැබුණේ කිලෝ 78,000යි

150

මෙවර යල කන්නයේදී දකුණු කලාපයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා ගබඩා 29 ක් සූදානම් කොට තිබුණද ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට ලබාදී ඇත්තේ වී කිලෝ 78,000 ක් පමණක් බැව් වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප සහකාර ප‍්‍රාදේශීය කළමනාකරු ඉන්දික ද සිල්වා මහතා පවසයි.

දකුණු කලාපයේ ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ 80 ක් මිලදී ගැනීමට සැලසුම් කොට තිබූ බවත් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබාදීම සඳහා උනන්දුවක් නොමැති බවද ඒ මහතා පවසයි. පුද්ගලික වී මෝල් හිමියන් විසින් වැඩි මිලට වී මිලදී ගන්නා බව සඳහන් කිරීම නිසා ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී ලබානොදී පුද්ගලික මෝල් හිමියන් වෙත වී ලබාදෙන බවද පැවසේ. අලෙවි මණ්ඩලය මගින් නාඩු වී කිලෝවක් රුපියල් 56.50 ට මිලකට මිලදී ගනු ලබන අතර දකුණු කලාපයේ ගොවීන්ගේ මිලදී ගන්නා වී ගබඩා කිරිම සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල යන දිස්ත‍්‍රික්කවල ගබඩා 29 ක් සූදානම්කොට තිබූ බවද ඉන්දික ද සිල්වා මහතා පෙන්වාදෙයි. වී මිලදී ගැනීම සඳහා රජය මගින් මුදල් ප‍්‍රතිපාදන වෙන්කොට තිබූ බවද හෙතෙම පවසයි. ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ වියළි වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මගින් යක්කලමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ ගබඩාවක් විවෘත කොට තිබූ බවත් එහෙත් මේ දක්වා ගොවීන් විසින් කිසිඳු වී ඇටයක් ලබා දී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment