මිල මුදල් ලැබ ධනවත් වන ලෙස නිවෙස් ගොඩනගමු

484

වාස්තු දෝෂ කියන ඒවා පුදුමාකාර විධියට මනුෂ්‍යයාගේ ශරීරයට ශරීරයේ ඕරාවට බලපෑම් ඇතිකරනවා. ඒ අතර උපන් කේන්ද්‍රයට අනුව අශුභ කාලයක් හෙවත් අපල කාලයක් පැමිණිවිට මේ බලපෑම් දෙගුණ, තෙගුණ වෙනවා. මක් නිසාද අපල කාලයක දී අපගේ ශක්ති ශරීරය හෙවත් ඕරාව පළුදු වෙනවා. එයින් නිකුත්වන්නේ ඍණ ශක්තීන් මේ මොහොතේ නිවෙස තුළ වාස්තු බලවත් නම් එම නිවසෙන් නිකුත්වන ධන ශක්තීන් ඍණ ශක්තීන් කෙරෙහි ආකර්ශනය වෙලා ඕරාව ශක්තිමත් වෙනවා. එයින් අපලය අඩු කරනවා. නමුත් ශරීරයෙන් නිකුත් වන ඍණ ශක්තීන් නිවසේ වාස්තු දෝෂ ඇතිවෙන විටදී නිකුත් වන ඝඍණ ශක්තීන්ට එකතුවුණොත් අර අපලය දෙගුණ වෙනවා. ඉතිං නිවසක පොඩි දෝෂයක් වුණත් මේ අපල කාලයේ දී ඕරාව තවත් දුර්වල කිරීම කරන්න පුළුවන්. ඒ වගේම නිවස ඇතුළත් නිවසින් පිටතත් දිශාවන්ට අනුකූල වන ලෙසින් පොඩි පොඩි වැඩකටයුතු කරලා නිවස බලවත් කරන්න පුළුවන්. මෙසේ බලවත් කිරීමෙන් නිවසේ ආර්ථික දුෂ්කරතා මඟ හරවගන්න හැකියාවක් පවතිනවා. මේ කාලය මුළු රටේ ම ආර්ථික ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවෙලා මිනිසුන්ගේ ආදායම පහල බැහැලා වියදම් අධික වකවානුවක් බව නොදන්න අයෙක් නෑ. ගෙදර ඇතිකරන සුනඛයාට, බළලාට පවා මේක තේරෙන්න ඕනේ. වෙනදා වගේ රස කෑම ඔවුන්ටත් දැන් ලැබෙනවා අඩු නිසා. නිවාසවල වාස්තු දෝෂ මදකට හෝ ඉවත්කරලා සිතට නිදහස පැමිණෙන්නත් පොකට් එකට අමතර මුදලක් ඇවිල්ලා අනවශ්‍ය වියදම් අඩුවෙන්නත්, ලෙඩ රෝග අඩුකර ගන්නත් හැකි නම් වාස්තු විද්‍යාවේ හරය වන ධනලාභ හා ආරෝග්‍ය වර්ධනය කරගැනීමට හැකිවන පරිදි කරන්න පුළුවන් පොඩි පොඩි වැඩකටයුතු ටිකක් ගැන දැනුවත් කරන්නයි සූදානම් වන්නේ. මේ තුළින් ඔබට ලොකු ධනවාසිවලට මඟපෑදෙනවා කියා මං හිතනවා. ප්‍රාර්ථනා කරනවා.

  1. නිවසේ ඇතුළත ගෘහ භාණ්ඩ වෙනස් කිරීම

සෑම ගෘහයකටම අන්තරීය ශක්තිය ළඟා වන්නේ නිවස ඇතුළට ලැබෙන්නේ ඊශාන දිශාවෙනි. නිවසේ ඊශාන දිශාවේ කෙළවර සාලයක් හෝ කාමරයක් තිබේ නම් ලොකු කබඩ්, උස කබඩ්, බර අල්මාරි තියෙනවා නම් ඒවා ඉවත්කරලා බරින් අඩු ගෘහ භාණ්ඩ, උසින් අඩු ගෘහ භාණ්ඩ තියන්න. ඊශාන කෙළවරේ රූපවාහිනිය බිත්තියේ ගසා ඇතිනම් එය ඉවත්කර ගිනිකොණ දිශාවේ බිත්තියට ගසන්න. මේ ආකාරයට ඊශාන දිශාව නිවස ඇතුළත ඉතා පිරිසිදුව අතුපතු ගා දමන්න. ආගමික ශාස්තෲන් වෙනුවෙන් තබන පූජාසනය ඊශාන කෙළවරේ තබන්න. ඒ වගේම නිවසේ කුණුකූඩය කිසිම විටක උතුර, ඊශානට තබා ඇතිනම් මේ මොහොතේම ඉවත් කරන්න. දැවී ගිය බල්බ්, පැරණි ඔරලෝසු නිවසින් ඉවත්කර දමන්න. කොමඩ් එකේ පියන වසාදමන්න. මකුළු දැල් නිවස ඇතුළත පිටත ඉවත් කරන්න. ඊශාන, නිරිත, උතුර බිත්තිවල පිටපැත්තේ දියසෙවල බැඳී ඇත්නම් පිරිසිදුකළ යුතුමයි. ඒ වගේම නිවසේ දකුණු දිශාවේ ලට්ට ලොට්ට නිවස ඇතුළත, පිටත ඇත්නම් ඉවත්කර දමන්න. බර අල්මාරි, කබඩ්, උස බර ගෘහ භාණ්ඩ නිරිත කාමරයේ නිරිත කෙළවර තබන්න. රූපවාහිනී, නිවසේ කැමරා පද්ධති අධි ශබ්ද හයිෆයි සෙටප් නිරිත කාමරයේ තබන්න එපා අශුභ වේ. සෑම විටම හිස නැඟෙනහිරට, දකුණු දිශාවට සිටින පරිදි නිදන ඇඳන් සකස් කරන්න. උතුරේ චුම්භක ශක්තිය ඉහළ නිසා උතුරට හිස දැමීමෙන් මනස පීඩාදේ. හිසේ රුදාව ඇතිවේ. නිදන ඇඳන් බාල්ක යටලී මුදුන් යටලීවලට ඍජුව හසුවෙන පරිදි නොතබන්න. මුළුතැන්ගෙයි පිළුණු වළං පිළුණු කෑම වර්ග තබා අපවිත්‍ර නොකරන්න. ලුණු බෝතලය වාගේම සීනි බෝතලයත් හිස්ව තබන්න එපා. ජල භාජනය හිස්ව නොතබන්න.

  1. නිවසේ ගිනිකොණ දිශාවේ කුරුල්ලන් ඇතුළු පක්‍ෂීන්ට ආහාර තබන්න (කුරුලු ලෑල්ලක්)

තමන් වාසය කරන භූමියට කුරුල්ලන් පැමිණීම ශබ්ද නැඟීම තම වාසය කරන නිවසට සක්‍රීය බව ඇතිකරයි. කෙසේ වුවත් කුරුල්ලන් ඇතුළු පක්‍ෂීන් නිතර නිතර පැමිණීමට නම් අප කෑම කා ඉවත දමන ආහාර, පලතුරු කැබලි එක ස්ථානයක ලෑල්ලක තැබූවිට ඔවුන්ට එය දන්සැලකි. එයට පුරුදු වන මෙම පක්‍ෂීන් ආහාර ගනී. කෑ ගසයි. ඔවුන්ගේ හඬ නිවසට ධන ශක්තිය ළං කරයි. මෙය නිවසේ ගිනිකොණ දිශාවේ ස්ථානයක ස්ථාපිත කරන්න. ධනය මෙන් සතුට ද ළඟාවේ. ඒ වගේම සතෙකු වෙනුවෙන් දෙන මෙම ආහාර දානමය පුණ්‍ය කර්මයකි. ආත්ම ගණනකට කුසල් රැස්වේ. ඒ වගේම පක්‍ෂීන්ට නා ගැනීම සඳහා උතුරු දිශාවේ වතුර භාජනයක් තැබීම ද ශුභ කරුණකි.

  1. දෙහි යුෂ නිවසේ ඉසීම

දෙහි ගෙඩි 02ක් 03ක් කපා දෙහි ඉස්ම කුඩා ස්ප්‍රේ බඳුනකට ජලය සමග දමා නිවසේ සෑම ස්ථානයකම උදේ 9.10ත් අතර ස්ප්‍රේ කරන්න. මේ තුළින් නිවසේ අශුභ ශක්තීන් පලවා හරිනු ඇත. දින 21කට වරක් කරන්න. නිවසට ධනය, වාසනාව ළඟාවේ.

  1. ලුණු භාජන තැබීම

මේ සඳහා කැටලුණු, හිස් ජෑම් බෝතල් කීපයක් අවශ්‍ය වේ. පිරිසිදු හිස් ජෑම් බෝතල් 03-04 රැගෙන එයට 3/4 ලුණු කැට දමා නිවසේ අඳුරු මුළුවල තබන්න. දින 07කට පසු එම භාජනවල ලුණුකැට භාජනයකට දමා ගලාගෙන යන ජල පහරකට දමන්න. නිවසේ අශුභ ශක්තීන් පලවා හැරීමට මෙය කදිම ක්‍රියාවකි. ඉන්පසු අර පිරිසිදු භාජන නැවත කලින් ආකාරයට ලුණු දමා වෙනත් ස්ථාන කීපයක තබන්න. යළි දින 07කින් පරණ ආකාරයට කර නැවත 3 වෙනි වතාවටත් කරන්න. මෙම ලුණු කිසිවිටක ආහාරයට නොගන්න. මාස 03කට වරක් මෙය සිදුකිරීමෙන් නිවසට ධනය, වාසනාව ළඟාවේ.

  1. කිරිබත් මාළුවෙක් සාදන්න

ඔබේ නිවසේ කරදර, පාඩු වියදම් එකවිට එක පැමිණීම නිසා බංකොලොත්බාවයට පත්ව ඇතිවිට අලුයම කිරිබතක් පිස එය ලෑල්ලක මාළුවෙකු ගේ හැඩයට සාදා ඇසට අබ ඇට 07 ක් තබන්න. පසුව කිරිබත් මාළුවා නිවසේ සෑම කාමරයකටම සාලය ඇතුළු සියලු ස්ථානවලට දක්‍ෂිණව දෑතින් ඔසවා යන්න. ඒ අතරේ නිවසේ දෝෂ දුරුවේවා යැයි සිතන්න. ඉන්පසු කිරිබත් මාළුවා මාළුන් ගැවසෙන ජලාශයකට ගොස් (පාන්දරම) කුඩා කොටස්වලට කඩා මාළුන්ට කෑමට දමන්න. බොහෝ කරදර ඉවත්වී ඔබට වාසනාව ළඟාවේ.

6 නිවස අවට ශාක සිටුවන්න

නිවසේ උතුරු දිශාවේ සඳුන් පැළයක් ඊශාන දිශාවේ දෙළුම් පැළයක්, නැඟෙනහිර දිශාවේ දේවදාර පැළයක්, නිරිත දිශාවේ බෙලි පැළයක් සිටුවන්න. ඉඩමදිකමක් ඇත්නම් මල් පෝච්චියක හෝ සිටුවන්න නිවසට දේව ආකර්ශනය ලැබෙන ඇත. කඩුල්ල අසල සඳුන් පැළයක් රෝපණය කිරීම නිවසේ මාර්ගවේද දෝෂයන් ඉවත් කිරීමට තරම් බලයක් ලැබෙනු ඇත. ගේ ඉදිරිපිට පෝච්චියක කහ, කෝමාරිකා ශාක සිටුවන්න. මෙයින් නිවසට ධන ශක්තිය දේව ආකර්ශනය ලැබෙනු ඇත.

7 සුවඳ ධූපය නිවසේ නිතර ඇල්ලීම

කපුරු, සුවඳ කොට්ටන්, අඟිල්, ගුගුල්, දේවරදාර, රත්මල්, විෂ්ණුකාන්තිය, ටී ටී සාම්බ්‍රානි කලවම් කර සුවඳ ධූපයක් ඖෂධ මිශ්‍රකර සාදන්න. (කඩේ ලී කුඩුවලට සුවඳ මිශ්‍ර කළ ඒවා ඇල්ලීමෙන් ඵලක් නොවේ) සවස 07 ට පමණ පොල්කටු අඟුරු දමා නිවසේ සෑම ස්ථානයකම මෙම සුවඳ දුම් අල්ලන්න. එයට පෙර කහ වතුර ටිකක් ඉසීම කරන්න. මෙය සතියකට කීපදිනක් උදේ, සවස හෝ ඉදහිට දවස් කීපයක් හෝ සිදුකරන්න. මෙම සුවඳ ධූපය පිරිත් කර තබා ඇල්ලීම කරන්නේ නම් ඉතා ගුණයි. මෙයින් නිවසේ අමනුෂ්‍ය දෝෂ, පහව දේව ආකර්ශනය ළඟා වේ.

  1. නිවසේ පිරිත් නිතර දමන්න සජ්ක්‍ඨායනය කරන්න.

බොහෝ නිවෙස්වල දිනපතාම වාගේ පිරිත් ශ්‍රවණය විද්්‍යුත් නාලිකාවලින් සිදුවුණ ද ඉදහිට හෝ නිවසේ බුදුපහන තබා අභිසම්භිදාන මෝර පිරිත, දසදිසා පිරිත, ජය පිරිත, තුන් සූත්‍රය කීමෙන් වාග් ශක්තිය, ශබ්ද තරංග කම්පනය වේ. නිවැරදි උච්චාරණය අවශ්‍යයි. මෙයින් නිවෙස් වල පවතින බොහෝ දෝෂාන්දකාරයන් පහව දියුණුව ඇති කරවයි.

9 තිරිසන් සතුන් වෙනුවෙන් ආහාර දීම

තිරිසන් සතුන්ට ආහාර දීමේ ආනිශංසය ගැන බෞද්ධාගමේ මැනවින් ප්‍රකාශ කර ඇත. එය ආත්ම 100ක ආනිශංසයකි. දඩාවතේ ආහාර නොමැතිව කුසගින්නේ සිටින සුනඛයන්ට ආහාර ලබාදීම එම නිවසට මහත් වාසනාව අත්වුණ ද එය කිරීමෙන් නිවස අවට ජරාවාසයට පත්වනු ඇත. එම නිසා හැකියාවක් ඇති විටක ගෙදරින් ඈත්ව හෝ සුනඛයන්ට ආහාර ලබාදීමට උත්සුක වන්නේ නම් නිවෙස් වල බොහෝ දෝෂ දුරුවේ. මෙයට හොඳම උදාහරණය පැරණි අත්තිවාරමක් දමා ඇති ස්ථානයක (නිවස ගොඩනඟා ගැනීමට නොහැකිව) සුනඛයන්ට ආහාර දීමෙන් එම නිවසේ වැඩ ඉක්මන් වීම. අවසන් වශයෙන් නිවසක ධන ශක්තිය වැඩිකිරීම සඳහා භාවිත කරන ජලය සහිත මල් බඳුන ද ඉතාම ශුභය. මෙය නිවැරදි ආකාරයට නිවැරදි දිශාවලට එනම් උතුර, නැඟෙනහිර, ප්‍රධාන දොර ඇති නිවාස වල උලුවස්සේ දකුණ පැත්තේ දනහිස උසට ජල බඳුනක් තබා වතු සුදුමල්, පිච්ච වැනි මල් වර්ග ඔත්තේ අගයකින් තබන්න. මෙය දෛනිකව කළ යුතුය. විශාල වියදමක් වෙහෙසක් නොමැතිව ඉහත කී සරල ක්‍රම භාවිත කිරීමෙන් ඔබගේ නිවස සක්‍රීය වනු ඇත. දේව ආකර්ශනය ලැබෙනු ඇත.

මිල මුදල් ලැබ ධනවත් වන ලෙස නිවෙස් ගොඩනගමු

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment