ලංකාවේ ගවරාට අත්වූ ඉරණම!

2411

ආසියාවේ සිටින ගව පවුලට අයත්, ඉතා විශාල වූත්, අතිශය භයංකර වූත් සතා නම් ගවරාය. මෙහි ප්‍රධාන පරපුර, ඉන්දියාව වාස භූමි කරගෙන ඇති අතර උගේ අනෙක් නෑයෝ මලයාව, ජාවා, සුමාත්‍රා, බෝර්නියෝව හා බාලි දූපත්වල වාසය කරති. ගවරා වරෙක ලංකාවේ ද වාසය කළ බව සිංහල ජන ශ්‍රැතියෙහි සඳහන් වෙයි. ලංකාවේ ගවරා ගැන ප්‍රථමයෙන්ම සඳහන් වෙන එක් අවස්ථාවක් ශ්‍රී පාදස්ථානයට අධිගෘහිත සමන් දෙවියන්ට උපහාර පිණිස ලියැවුණු තුති ගීතිකාවක් වූ ‘සමන් සිරිත’ නම් වූ පොතක දක්නට ලැබේ. මෙහි මුල්ම පුස්කොළ අත්පිටපත නැසීගිය මහවලතැන්නේ රටේ මහත්මයා විසින් එක්රැස් කරනු ලැබූ පොත්පත් අතර තිබෙනු දුටු දිවංගත සාහිත්‍යාචර්ය ශ්‍රීමත් පෝල් ඊ. පීරිස් මැතිතුමෝ 1904 වර්ෂයේදී පමණ ඉන් පිටපතක් ලබාගෙන පසුව කොළඹ කෞතුකාගාරයට පරිත්‍යාග කළහ.

ලංකාවේ ගවරාට අත්වූ ඉරණම!

● සමන් කුළු අඩවියෙහි විසූ ගවරු

සමන්තකූට පර්වතයේ මහ වන මැද පස් අතර රැඳි මාණික්‍යයන් කැළුම් දී බබළන විට ඒ රශ්මි කදම්බය නුරුස්නා ගවරෝ සිය අං යත යතා දැඩි හඬ නංවමින් පොළොව බිඳලතියි යථෝක්ත තුති ගීතිකාවේ සඳහන් වෙයි. එය 1960දී ප්‍රකාශයට පමුණුවන ලද දේව වර්ණා කාව්‍යයෙහි ඇතුළත්ව ඇත.

සමන්සිරිතෙහි ගවරා ගැන මෙසේ සඳහන් වෙයි:

මන මෙන් තුඟු සිඟු සොබනා සොඳු රූ
දැන ගන ලිය ගොළු සුන් කර වැගු රූ
ඉන ඉන යා කුළු පහරින් අයු රූ
තැන තැන සිට පොර ඇන යෙති ගව රූ

ඊට පසු කාලයක මේ පිළිබඳව සඳහන් කොට ඇත්තේ 1681දී රාජසිංහ රජතුමන් විසින් අල්ලා ගන්නා ලද ඉංග්‍රීසි ජාතිකයෙක් වූ රොබට් නොක්ස් විසිනි. ඔහු විසින් සඳහන් කොට ඇති අන්දමට සෙංකඩගල පුර රාජකීය සත්ත්වෝද්‍යානයේ ගවරෙක් සිටිනු ඔහු දැක ඇතත්, මේ පිළිබඳ විද්‍යාඥ මතය වනුයේ එම ගවරා ඉන්දියාවෙන් ගෙනවිත් තබා තිබුණු එකෙකු බවයි. කුරුවිට, වැල්ලඳුර ප්‍රදේශයේ කඳුකර වනාන්තරයන්හි එක් කලෙක ගවරුන් සිටි බවක් වැල්ලඳුරේ ගම්පති තැන විසින් තමන්ට කී බවක් ජෝන් ඩොයිලි විසින් 1812දී කියා ඇතත් පාෂාණිභූත වී තිබුණු ඇට කැබලි කිහිපයක් හා තැන තැන තිබුණු දත් කිහිපයක් සබරගමුව පළාතේ මැණික් පතල්වල තිබී සොයාගන්නා තෙක් ගවරුන් කලින් ලංකාවේ වාසය කළ බවක් විද්‍යාඥයෝ සාමාන්‍යයෙන් පිළිනොගත්හ. කෙසේ වෙතත් මේ පිළිබඳව ලැබුණු මෙම පාෂාණිභූත ඇටකටු ආදියේ ප්‍රමාණය ඉතාමත් මඳය.

● ගවර අඟක් සොයා ගැනීම

1962 ජනවාරි මාසයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ ගං ඉවුරකින් හිස්කබලේ පිටුපස පෙදෙසත් සමග වූ පාෂාණිභූත වම් පැත්තේ අං කොපුවක් සොයාගනු ලැබ තිබී රත්නපුර කෞතුකාගාරයේ වැඩබලන අධිකාරීන් විසින් මිලයට ගෙන තිබේ. ඒවායේ ප්‍රධාන වෙනස්කම් පිළිබඳ ස්වභාවය මෙසේය:-

මෙම අං කොපුව දික් අතට පිහිටි දාරවලින් වැසී තිබෙන අතර හරස් අතින් බැලූ විට අණ්ඩාකාරව පෙනේ. (පළමුවෙනි චිත්‍රයේ 1 වැනි සහ 2 වැනි රූප) හිස්කබලේ පිටුපස අං කොපුවට සම්බන්ධ වූ එක් එක් සන්ධිස්ථානයට උඩින් ගැඹුරු සිදුරු නොමැත. (පළමුවැනි චිත්‍රයේ 3 වෙනි රූ සටහන) මෙම ගති ස්වභාවයන්ගෙන් පෙනෙන්නේ මෙම සතා ගවරකු බවය. ඊට හේතුව මී හරකාගේ අං කොපුව පිට පැත්තෙන් සිනිදු වීමත් හරස් අතින් ත්‍රිකෝණාකාර වීමත්ය. එමෙන්ම හිස්කබලේ පසුපස අං කොපුව හා සම්බන්ධ වූ එක් එක් සන්ධිස්ථානයට උඩින් තදින් හෑරුණු සිදුරු දක්නට ලැබේ.

● තුලනාත්මක සටහනක්

පහත සඳහන් චක්‍රයෙන් පෙනෙන්නේ ලංකාවේ ගවරාගේත් පළමුවැනි චිත්‍රයේ 5 වැනි රූපයේ දැක්වෙන මයිසූරයේදී වෙඩි තබනු ලැබූ පිරිමි ගවරකුගේත් 1942දී යාල ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ ලංකාවේ විශාල මී ගොනකුගේත් යම් යම් කොටස් පිළිබඳ එකිනෙකට සමාන කරනු ලැබූ මිනුම් පිළිබඳ සංඛ්‍යා ලේඛනයකි. මෙහි ප්‍රමාණය දක්වා ඇත්තේ මිලිමීටර්වලිනි.

● ලංකා ගවරා ඉන්දියානු ගවරා ලංකාවේ කුළු මී හරකා

(1 වැනි චිත්‍රය රූප 1-4 දක්වා) (1 වැනි චිත්‍රය 5 වැනි රූපය)

හිස්කබලේ මුල් පළල 275 317 219

අං කොපුව වටේ දිග 372 490 488

අං කොපුවේ මුළු පරිධිය 380 370 272

අං කොපුවේ මධ්‍ය ප්‍රදේශයේ පරිධිය 302 285 230

අං කොපුවේ මුළු පළල 148 131 98

අං කොපුවේ මැද හරියේ පළල 120 115 82

ලැබී තිබුණු සුළු සාධක ප්‍රමාණය අනුව ලංකාවේ ගවරා ඉන්දියානු කුලයේ සුළු ජාතියක් වශයෙන් (දැරණියගල – 1958දී) සලකන ලද නමුත් දැන් ලබාගෙන ඇති විස්තරවලට අනුව අං කොපුවේ දික් අතට වැටුණු දාර තිබීමෙන් හා කෙටි වූත් ඝන වූත් පැතලි අං තිබීමෙන් ඌ තවදුරටත් වෙනස්කම්වලින් යුත් සතකු බව ඔප්පු වෙයි. මේ නිසා පැහැදිලිවම වෙනස් කුලයකට අයත් වන මේ සතා දැන් ‘බයිබස් සිංහලයස්’ නමින්දු හඳුන්වනු ලැබේ.

ගවරා වඳවීමට හේතු

ලංකාවේ ගවරා වඳවී යෑමට බොහෝවිට හේතු වන්නට ඇත්තේ යුද සෙබළුන්ගේ ධෛර්යය පරීක්ෂා කිරීමට රජුගේ මෙහෙයීමෙන් වරින්වර පැවැත් වූ එක්තරා ක්‍රියාවක් විය හැකිය. එනම් කඩුවක් හෝ හෙල්ලයක් අතින් ගත් හේවායෙක් ගවරුන් රැළක් මැදට වී උන්ගේ ප්‍රහාරයට ලක්නොවී ඊට මුහුණ දීමයි. විවිධ පැරණි පුස්කොළ පොත් රාශියක් එක්තැන් කොට ප්‍රසිද්ධ කොට ඇති ‘පුරාවෘත්ත’ නම් සංග්‍රහයේ මෙම ක්‍රියාව විස්තර කොට තිබේ.

  • 1 වෙනි චිත්‍රයේ දක්නට ලැබෙන පාෂාණිභූත ඇට සැකිලිවල කැබලි ආශ්‍රිතව පී. දැරණියගල මහතා විසින් සකස් කරනු ලැබූ වඳවී ගිය ලංකාවේ ගවරාගේ නිර්මිත රූපයකි.

චිත්‍රය අඳින ලද්දේ පී. දැරණියගල මහතා විසිනි.

ලංකාවේ ගවරාට අත්වූ ඉරණම!

ජාතික කෞතුකාගාරයේ එවක අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල
සූරීන් විසින් එදා ලියන ලද්දකි.

advertistmentadvertistment
advertistmentadvertistment