විවාහ යෝගය එනතුරු ඇඟිලි ගැන ගැන බලා සිටින්න එපා

219

එක්තරා පියකු විසින් තම දියණිය ගැන මා වෙත මෙසේ ලියා එවා තිබුණි. මගේ දුවට දැන් වයස අවුරුදු 43යි. දුවගේ වයස අවුරුදු විසි හතරේ සිටම අපි විවාහය සිදු කර දීමට මහන්සි ගන්නවා. බොහෝ යෝජනා ආවා. සමහර ඒවාට දුව කැමති නෑ. දුව කැමති වූ ඒවාට ඒ මනාල පාර්ශ්වය කැමති වුණේ නෑ. කේන්දරය බලවා යන්තර මන්තර දැමුවා. ඒත් යහපත් ප්‍රතිඵල ලැබුණේ නෑ. මගේ අනිත් දරුවන් 6 දෙනාම විවාහ වෙලා. ඒ අයට ලොකු දූලා පුතා ලද ඉන්නවා.

තවත් එක්තරා මවක විසින් මා වෙත මෙසේ ලියා එවා තිබුණි. මාගේ වැඩිමහල් දියණියට කොතරම් විවාහ යෝජනා ගෙනාවා ද ඒ එකක්වත් හරියන්නෙම නැත. දැනට ඇයගේ වයස අවුරුදු තිස් හතයි. දැන් විවාහ වීමට ද ඇයගේ දැඩි උනන්දුවක් නොමැති ගානයි. ඇය දැනට කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ලෙස සේවය කරයි. මේ සමග දුවගේ කේන්දර පිටපතක් ද එවමි.

මෙවැනි විවාහ ගැටලු ඇති කීදෙනෙක් අද සමාජයේ සිටිත්ද? වසර පහළොවක පමණ මගේ පර්යේෂණවලින් හෙළි වූ ප්‍රතිඵල උපයෝගී කරගෙන කරුණු ඉදිරිපත් කිරීමට මම අදහස් කරමි. විවාහය පමා වීමට ජ්‍යොතිෂ්‍ය හේතූන් ද බලපාන බව පෙන්වාදිය හැකි වේ. ඒවාට අමතරව බලපාන බාහිර හේතූන් ද ඇත. අපි පළමුව ජ්‍යොතිෂ්‍ය හේතූන් ගැන අවධානය යොමු කොට බලමු.

විවාහය පමා වෙන අය තමාගේ කේන්දරය අතට ගෙන මෙම යෝගය තම කේන්දරයේ ඇත්දැයි පරීක්ෂාකොට බලන්න. ලග්නය කුමක් වුවත් කම් නැත. ඔබේ ලග්නයේ කුමන ස්ථානයක හෝ කුජ සංයෝගය තිබීම ඉතා යහපත්ය. බොහෝ අයගේ විවාහය පමා වීමටත්, පළමුව විවාහය දෙදරා අසාර්ථක වීමටත් කුජ සනි යෝගය හේතු වී ඇත. මේ නිසා ඇතැම් අයගේ වසර ගණනාවක්ම පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතා කැඩී බිඳී විසිරී ගොස් ඇත.

කුජ සනි රාහු යෝගය ද කුජ සනි රවි යෝගය ද විවාහය පමා කරන යෝග වශයෙන් පෙන්වාදිය හැකි වේ. කුජගෙන් හතේ ශනි සිටීම ද විවාහය පමා වීමට ප්‍රබල හේතුවක් ලෙස පෙන්වාදිය හැකි වේ. ලග්නයේ කවර ස්ථානයක් සම්බන්ධ කරගෙන නමුත් කුජගෙන් හතේ ශනි සිටීම ඉතා අයහපත්ය. උදාහරණයක් වශයෙන් ලග්නයේ කුජ සිටියදී ශනි හතේ නම් එය කුජගෙන් හතේ ශනි සිටීමයි. සිවු වැන්නේ කුජ සිටියදී දසවැන්නේ ශනි සිටී නම් එය ද කුජගෙන් හතේ ශනී සිටීමයි. මෙසේ තමාගේ කේන්දරයේ ශනි හෙවත් සෙනසුරු කුමන භාවයෙන් සිටියත් එතැන සිට භාව හතක් ගණන් කර එතන කුජ සිටී නම් කුජගෙන් හතේ ශනි සිටින බව තේරුම් ගන්න.

විසිදෙවෙනි දෙර්කාණාධිපතියා හතේ සිටීමත් හත අධිපතියා විසිදෙවැනි දෙර්කාණාධිපතියා වීමත් විවාහය පමා කිරීමට හේතු වේ.

කුජ හෝ ගුරු හෝ සිකුරු හෝ විසිදෙවෙනි දෙර්කාණාධිපතියා වීම ද විවාහය පමා කිරීමට හේතු වේ. ඇතැම් තරුණ තරුණියෝ සිකුරු මහ දශාවේදී, හෝ සිකුරු අතුරු දශාවකදී විවාහය සිදුවේ යැයි අපේක්ෂා කරති. එසේ සිදුවන බව ඇතැම් විට දෛවඥවරයෙක්ගෙන් දැන ගෙන සිටින්නටද පුළුවන. තම කේන්දරේ සිකුරු විසිදෙවැනි දෙර්කාණාධිපති යාවී ඇත්නම් එම සිකුරු මහ දශාවේ විවාහය සිදු වන්නේම නැත.

මීට පෙර විවිධ ලිපි මගින් විවාහය සිදුවන හැටි මා පැහැදිලි කර දුන්නෙමි. ප්‍රධාන වශයෙන් ඉහත සඳහන් ජ්‍යොතිෂ්‍ය න්‍යායයන් දැක්විය හැකි අතර මෙයටත් වඩා සියුම් කරුණු ද ඇත්තේය.

ජ්‍යොතිෂ කරුණුවලට අමතරව සාමාජික කරුණු ද විවාහය පමා කිරීමට හේතු වනවා ඇත. ඒවා අතර තමාගේ පවුල් මට්ටමට නොගැලපීම ඇතැම් විට පවුලේ අනිත් අය ඉතා උසස් පවුල්වලින් විවාහ වී සිටීම වැනි කරුණු ද බලපානවා ඇත. ඒ නිසා පවුලේ සාමාජිකයෙකුගේ තම තත්ත්වයට ගැලපෙන ආකාරයේම කෙනෙකු අවිවාහකව සිටින අයකු සොයයි. නමුත් ඇයට හෝ ඔහුට අනික් අයට මෙන් සුදුසුකම් නැත්නම් ඇතිවන තත්ත්වය කුමක්ද? එවිට වැඩිමහලු සහෝදරියකගේ විවාහ පමාවීම නිසා ගෙදර සිටින බාල සහෝදරියට ද විවාහයක් සිදුකරගත නොහැකි වීමේ තත්ත්වය උදා වේ.

තවත් සමහරුන්ට කුලය, ආගම, ජාතිය, වයස, රැකියාව ආදී කරුණු විවාහය පමා වීමට හේතු වී ඇත. මීට වඩා අමුතුම ප්‍රශ්නයක් ද මට ලැබී තිබිණි. එම ප්‍රශ්නය මෙසේය. මාත් ඔබතුමාගෙන් මාගේ විවාහය ගැන දැන ගැනීමට ඉතා කැමැත්තෙන් හා ආසාවෙන් සිටිමි. මාගේ විස්තර මම ඔබතුමාට ලියමි. මම දැන් සුළු රැකියාවක් කරමි. මහත්මයාණනි. මගේ දැනට වයස අවුරුදු 31, මාස 11 කි. මා තවමත් විවාහ වී නැත. ඒත් මම මීට පෙර දෙදෙනකුට ආදරය කළෙමි. එහෙත් ඒවා කිසිවිටෙක සාර්ථක වූයේ නැත. හැමදේම කඩාකප්පල් විය. මම මීට අවුරුදු 6 කට උඩදී විදේශගත වූ අවස්ථාවකදී එම ගෙදර ස්වාමියා අතින් මට කරදරයක් සිදු විය. එම කාලයේදීම ලංකාවට පැමිණියෙමි. ලංකාවට පැමිණි පසු එක් තරුණයෙක් මා හට ආදරේ කළ ද මාගේ සත්‍ය තොරතුරු ඔහු හට පැවසුවාට පසු ඔහු මා හැර ගියේය. එවැනි කරදරවලට ලක්වීම නිසා ද තවත් කෙනෙකුට කිව නොහැකි විවිධ ප්‍රශ්න නිසා ද විවාහ පමාව සිදුවේ. ඇතැම් අයට විවාහ යෝග උදා වුණේ වයස 40 ද සම්පූර්ණ වූ පසුවය. එවන් කේන්දරයක් ඉගෙන පරීක්ෂා කර මෙම තත්ත්වය පැහැදිලි කර ගනිමු. මීන ලග්නයෙන් හා කන්නේ නවාංශකයෙන් ද බෙරණ නැකතේ තෙවැනි පාදයෙන් ද උපන් තැනැත්තියකි ඈ.

මෙම කේන්දරයේ 8 අධිපති සිකුරු විසි දෙවෙනි දෙර්කාණාධිපතියා වී ඇත. නව වැන්නේ ශනී කුජ යෝගයක් ද ඇත. දෙවැන්න හා අටවැන්න සම්බන්ධ කර කාල සර්ප යෝගයක් යෙදී ඇත. මෙම කරුණු සියල්ලම ඇගේ විවාහය සම්බන්ධයෙන් බලපානවා ඇත. මීට පෙර විවාහ ඇයට විවාහ යෝග තිබිණි. ඒ අවස්ථාවලදී යෝජනා පැමිණ ඇතත් කවර හේතුවක් නිසා හෝ විවාහය සිදුවී නැත. තමන්ගේ පවුලේ මට්ටම නිසා ඊට හැම අතින්ම ගැලපෙන අයකු සෙවීම මෙම විවාහය ප්‍රමාද වීමට හේතුවකි. එහෙත් කවදා කෙසේ විවාහය සිදු වුණත් කුමන හෝ අඩුපාඩුවක් නම් පවතිනවා ඇත. එම අඩුපාඩුව වයස් පරතර අතින් වීමට ද පුළුවන. ඇයට වඩා අවුරුදු කීපයක් බාල අයෙකු වීමට ද බොහෝ දුරට ඉඩ ඇත.

විවාහය පමා කරන කේන්දර දෝෂ නිවාරණය කිරීම සඳහා ශාන්තිකර්ම ද, යන්තර සකසා දීම මගින් ද මීට පිළියම් වශයෙන් සිදු කර ගැනීම ද කළ හැකි වේ.

ස්වස්ති සිද්ධම්!

විවාහ යෝගය එනතුරු ඇඟිලි ගැන ගැන බලා සිටින්න එපා

ජයකොඩි ජ්‍යොතිෂ සේවය
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
ජේ. ඒ. එස්. සහන් ජයකොඩි
කාර්යාල අංකය – 0114262367

advertistmentadvertistment
advertistmentadvertistment