කැබිනට්ටුවෙන් හරීන් නෙරපන්න ජනපතිට දින 7ක් දෙනවා – කොල්ලුපිටියේ විරෝධතාවේදී දේශප්‍රේමී ජාතික බලවේගය කියයි

2241

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මුල්කර ගනිමින් ‘හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපනු’ ලෙස ඉල්ලමින් කොල්ලුපිටියේ සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (20දා) සිවිල් සංවිධාන කිහිපයක් උද්ඝෝෂණයේ නිරතව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව පැවසූ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට දින හතක් ලබාදෙන බවත්, එසේ නොවන්නේ නම් සිය විරෝධය දැඩි කිරීමට පියවර ගන්නා බවත්, දේශප්‍රේමී ජාතික බලවේගයේ කැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩුව මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට විරෝධය පළකරමින් ඊයේ (20දා) ‘ජන අරගලයේ පුරවැසියෝ’ ඇතුළු සංවිධාන කීපයක් විරෝධතාවක නිරත වූ අවස්ථාවේදී ඔහු මේ බව කීය.

කොල්ලුපිටිය සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැති අතර ‘හරීන් වහා ඇමැතිකමින් නෙරපනු’, ‘ඉන්දියාවට රට විකිණීම වහා නවතනු’ යන විරෝධතා පාඨ කියමින් මෙහිදී උද්ඝෝෂකයෝ ඇමැතිවරයාට විරෝධය පළ කළහ. එහිදී අදහස් දැක්වූ දේශප්‍රේමී ජාතික බලවේගයේ කැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩුව මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“හරීන් ඇමැතිවරයාගේ ප්‍රකාශය රනිල් වික්‍රමසිංහගේද මේ ආණ්ඩුවේද කියලා අපි දන්නේ නැහැ. ඉන්දියානු වහල්භාවය සහ පරගැතිභාවය මේ ප්‍රකාශ මගින් එළියට එනවා. මේ රටේ දේශපාලන නායකත්වය ලබාගන්න නම් ඉන්දියාව නැතිව බැරි බව මේ ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. අපි ජනාධිපතිවරයාට දින හතක් දෙනවා. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ඉවත් කිරීමට. ඔහු මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත යුතුයි.

කැබිනට්ටුවෙන් හරීන් නෙරපන්න ජනපතිට දින 7ක් දෙනවා - කොල්ලුපිටියේ විරෝධතාවේදී දේශප්‍රේමී ජාතික බලවේගය කියයි

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා

ඉන්දියාවේ, සිංගප්පූරුවේ හෝ ඇමරිකාවේ නම් මේ ප්‍රකාශයට හිමිවන්නේ මරණ දඬුවම. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ එසේ ඇතත් අපේ රටේ නීතියේ දුර්වලතා නිසා එය ක්‍රියාත්මක කළ නොහැකියි. අඩු තරමින් ඔහුට තනතුරේ හෝ සිටිය නොහැකියි. නීතියෙන්ද එයට ඉඩක් නැහැ. ජනපතිවරයා වහා ඔහුව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතුයි.

ජාමුනි කමන්ත තුෂාර මහතා

“සංචාරක ඇමැති ඉන්දියාවේදී කළ මෙම ප්‍රකාශයට සමාව ගතයුතු වගේම ඔහු තනතුරින් ඉවත් කළ යුතුයි. ඔහු සාමාන්‍ය පුරවැසියෙක් නෙවෙයි. වගකිවයුතු ඇමැතිවරයෙක්. අපි මේ කරන්නේ ඔහුට රතු එළියක් දැල්වීම පමණයි.”

මෙම අවස්ථාවේ සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා තිබිණි.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment