ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් පහක් දිනති

232

21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් අප්‍රේල් 24 සිට 27 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඩුබායි නුවරදී පැවති 21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම 03 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කාන්තා තුන් පිම්ම, මීටර් 100×4 පිරිමි සහාය දිවීම, මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීම, මීටර් 400×4 පිරිමි සහාය දිවීම සහ මීටර් 400×4 කාන්තා සහාය දිවීම යන තරග ඉසව් ආශ්‍රිතව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එම දස්කම් ප්‍රදර්ශනය කළහ.

මෙවර පළමු රිදී පදක්කම දිනා ගැනීම සඳහා ගිය ගමනේදී නෙත්මිකා මදුෂානි හේරත් ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 13.01 කි. ඇයගේ තුන් පිම්ම ඉසව්වේ ඉහළම පෞද්ගලික දක්ෂතාවය ලෙස ද මෙය විශේෂත්වයක් ගත්තේය.

තත්. 39.81 ක තරග නිමි කාලයක් සටහන් කර ගනිමින් දෙවන රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට පිරිමි මීටර් 100×4 සහාය දිවීමේ කණ්ඩායමට හැකි විය.

මිශ්‍ර සහාය දිවීමේ ලෝකඩ පදක්කම දිනා ගැනීම උදෙසා සටහන් කළ කාලය මිනිත්තු 3.28.18 කි. ජත්යා කිරුළු, අවිශ්ක රාජපක්ෂ, ජිත්මා විජේතුංග සහ නුහන්සා කොඩිතුවක්කු මෙම ඉසව්ව නියෝජනය කළහ.

මීටර් 400×4 පිරිමි සහාය දිවීමේ ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාව ඒ සඳහා 3.09.48 ක කාලයක් ගත් අතර මිනිත්තු 3.46.20 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් මීටර් 400×4 කාන්තා සහාය දිවීමේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

එමෙන්ම, ලෝකඩ පදක්කම් පෙනි පෙනී සිව් වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට දෙවතාවක් ශ්‍රී ලංකාවට සිදු වූ අතර 05 වැනි ස්ථාන දෙකක් සමග 06 වැනි ස්ථානයක් සහ 08 වෙනි ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමි විය.

ඒ අනුව මෙවර තරගාවලියට ඉදිරිපත් වුණු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට ආසියාවේ පළමු 08 දෙනා අතරට පැමිණීමට හැකි වීම කැපී පෙණුනි.

පිරිමි සහ කාන්තා 100×4 සහාය දිවීමේ තරග ද්විත්වයේදීම නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තා බිහි කරන්නට සමත් වෙන අතර වාරයේදී එක් දකුණු ආසියාතික වාර්තාවකට ද ශ්‍රී ලංකාව හිමිකම් කීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment