පංච මහා ධාතුන් සක්‍රිය වන ආකාරයට නිවාසවල බුදු පහන දල්වන්න

2525

සමහර නිවෙස්වල මායිම තුළම පහන් පැල ඉදිකර තිබේ එනම් ප්‍රේත පාදය තුළයි. ප්‍රේත පාදය තුළ දල්වන පහන් ආලෝකය බාරගන්නේ ප්‍රේත කොට්ඨාශයි. නිවසින් පිටත මිදුලේ පහන් පැල් අවට පිරිසිදුය. එලියේ පහන් පැල අමතකව නිවසේ දොරින්, ජනේලයෙන් කෙලගැසීම, මිදුලේ හොටු සීරීම, සුනඛ, බළල් සතුන්ගේ මළපහ කිරීම් පහන් පැල අවට පවතිනු ඇත. මෙවැනි ස්ථානවලට කිසිම අයුරකින් දෙවිවරු පහන් ආලෝක බාරගන්නේ නැත.

පසුගිය කොරෝනා වසංගතය පැවති කාලයේ එක්තරා විශාල නිවසක් පරීක්‍ෂා කිරීමට පැමිණෙන ලෙස මා හට දන්වන ලද අතර නියමිත දිනයේ නිවස පරීක්‍ෂාවට නියමිත ස්ථානය වෙත මම පැමිණියෙමි. මෙම නිවස ඉතාම විශාලව පැවති අතර කාමර සංඛ්‍යාව ද 10ක් පමණ පැවතුණි. මෙහි පදිංචි වී සිටියේ තරුණ යුවළක් වන අතර ඔවුන්ගේ නැන්දලා, අම්මා, මාමලා ඇතුළු පවුලේ පදිංචි සංඛ්‍යාව සේවිකාවත් සමගින් 09ක් පමණ විය. නිවසේ සෑම කාමරයකම කවුරුන් හෝ සිටි අතර සමහර අය බොහෝ වියපත්ය. නිවසෙහි කාමරවල මිනුම් කටයුතු කරගෙන යෑමේදී මෙම නිවසේ සෑම කාමරයකම වාගේ බුදුපිළිමයක්, දේව පිංතූර ආදිය තබා පුටු මත මේස මත මල් පහන් තබා ඇත. සමහර මේසවල බුද්ධ පූජාව නරක්වෙමින්, පහන් ළඟ කෘමි සතුන් පිළිස්සී පහනේ පිරී පවතී. මාගේ සේවාදායකයාගෙන් මම ප්‍රශ්න කළෙමි.

‘මේ හැම කාමරයකම වාගේ මොකෝ මේ පහන්, මල් තබලා වඳින්නේ’

‘මේකයි මහත්තයා අපේ මාමලා, නැන්දලා කට්ටිය බයයි කොරෝනා වසංගතය වැළඳෙයි කියලා. නිතරම මල් පහන් තියලා දෙවියන්ට, බුදුන්ට කියනවා ඒ අයව ආරක්‍ෂා කර දෙන්න කියලා.’

‘ඒ වුණාට මේ වැඩේ වැරදියි. මේකෙන් සිද්ධවෙන්නේ නැති කරදර ඇතිවීමයි.’

උගත් පුද්ගලයකු වූ ඔහු ද අනවශ්‍ය ලෙස මෙවැනි දේට නැඹුරු වීම මට අදහාගත නොහැකි වුවද වැඩිහිටියන්ගේ මතිමතාන්තර ඉදිරියේ සමහර විට ඔහු අසරණව සිටිනු ඇත. මෙම කතාව සමගින් අද මා ඔබට ඉදිරිපත් කිරීමට අදහස් කළේ නිවසක හා නිවසින් පිටත ආගමික ශාස්තෲන් වෙනුවෙන් දෙවිවරු වෙනුවෙන් තබන පහන් ආලෝකය තුළින් නිවසක ඇතිවෙන වාස්තු දෝෂයන් හා එයින් අත්කරගත හැකි ශුභ අශුභතාවයන් පිළිබඳවයි.

බොහෝ නිවෙස්වල ඇතුළත මෙන්ම නිවසින් පිටතින් ද පහන් තැබීම සිදුකරන්නේ එම නිවසේ නිවැසියන් අද ඊයේ නොව මෙයට පරම්පරා ගණනක සිට පැවතගෙන එන චාරිත්‍රයක් ලෙසින් වීමට පුළුවන. කෙසේ වුවද ධර්මානුකූලව ජීවත් වන පුද්ගලයන් මෙන්ම නොයකුත් වැරදි ක්‍රියාවන්ට යොමුවන අය ද වයස් භේද, ජාති භේද, ආගම් භේද පසෙකළා සෑම නිවසකම වාගේ උස් මිටි වත්පොහොසත්කම් නොසලකා තම ආගමික ශාස්තෲන්ට වගේම දෙවි දේවතාවන් වෙනුවෙන් පූජාසනයක් ඉදිකර මල් පහන් තැබීම සිදුකරයි. නිවසේ වාස්තු දෝෂ වාගේම නිවස පිහිටි භූමියේ ද භූමි දෝෂ පවතිනු ඇත. මෙම දෝෂයන් පියවි ඇසට පෙනෙන දෝෂ හා පියවි ඇසට නොපෙනෙන දෝෂ වශයෙන් පවතී.

කෙසේ වුවද භූමියෙන් පැමිණෙන දෝෂ නිවසේ දෝෂවලට වඩා ප්‍රභලවේ. නිවසින් පිටත තබන පහන් ආලෝක නිසා භූමියේ සැරසරන භූත ප්‍රේත කොටස් පහන් ආලෝකයට හා පහනේ උණුසුම නිසා පහන් පැල වෙත ආකර්ෂණය වේ. මෙය ප්‍රභලව බලපෑම ඇතිවන්නේ භූමි දෝෂ පවතින ඉඩම්වල, පහන් පැල වැරදි දිශාවලට, වැරදි ස්ථානවල පැවති විටයි.

සමහර නිවෙස්වල මායිම තුළම පහන් පැල ඉදිකර තිබේ. එනම් ප්‍රේත පාදය තුළයි. ප්‍රේත පාදය තුළ දල්වන පහන් ආලෝකය භාරගන්නේ ප්‍රේත කොට්ඨාසයි. නිවසින් පිටත මිදුලේ පහන් පැල් අවට අපිරිසිදුය. එළියේ පහන් පැල අමතකව නිවසේ දොරින්, ජනේලයෙන්

කෙළගැසීම, මිදුලේ හොටු සීරීම, සුනඛ, බළල් සතුන්ගේ මළපහ කිරීම් පහන් පැල අවට පවතිනු ඇත. මෙවැනි ස්ථානවලට කිසිම අයුරකින් දෙවිවරු පහන් ආලෝක භාරගන්නේ නැත. සමහර අය පවසන්නේ අපේ ගෙදර මිදුලේ තබන පහන තෙල් තිබුණත් නැතත් මධ්‍යම රාත්‍රිය පසුවන තුරාම හෝ අලුයම දක්වා ආලෝක වන බවයි. ඇත්තෙන්ම එවැනි පහන් භාරගන්නේ අමනුෂ්‍ය කොටස්ය. කල්යත්ම ඔවුන් බලවත් වේ. දෙවිවරු මනුෂ්‍යයන්ට පහනක් තැබීම ප්‍රමාදවීම හෝ මොනයම් කරුණකටවත් දඬුවම් නොදේ. නමුත් එලෙස තබන පහනක් නැවත්වීම අමනුෂ්‍යයන්ගෙන් දඬුවම් විඳීමට සිදුවන්නා දෙයක් වේ. ඒ නිසා පහන් තැබීම මඟහැරුනහොත් පහන් භාරගත් භූත කොට්ඨාසවල උදහසට ලක්වේ. ඔබත් නිවසින් පිටත පහන් තබන අයකු නම් ඔබගේ පූජාසනය නිසි දිශාව වූ ඊශාන දිශාවේ නියමිත දිග, පළල, උස ඇතිව සකස් කර ගත යුතු අතර එම ස්ථානය බැම්මක්, ඉනිවැටක් දමා සුදුවැලි අතුරා සීමා කරගත යුතු අතර තබන පහන ගම්භාර දේවතාවන් වෙනුවෙන් නම් රාත්‍රි 9.35 ට පමණ තබන්න. ඉතා පිරිසිදු පොල්තෙල්, අබ තෙල් පමණක් ගන්න පහනට සඳුන් කුඩු ස්වල්පයක් දමන්න. පහන දල්වා දෙවියන්ට පමණක් කැපකරන්න. වෙනත් භූත කොට්ඨාසවලට පහන කැපවීමට ඉඩ නොතබන්න. ඒ වගේම කිසිමවිට පහන් දල්වන පූජාසනයක් තනි කණුවක් ලෙසින් සිටවන්න එපා. බුදුන් වෙනුවෙන් සමහර නිවෙස්වල පිටත ඉදිකර ඇති පහන් දල්වන පූජාසනය තනි කණුවකි. මෙවැනි ආසනවල ආගමික කටයුතු කිරීම බුදුන්වහන්සේට කරන නිගරු කිරීමක් වේ. නිවසින් පිටත පහන් තබන ස්ථානය නිවසේ ප්‍රධාන ද්වාරයට ආලෝකය වැටෙන පරදි තැබීම වේද දෝෂයක් වේ. එය හඳුන්වන්නේ දේවතා වේද දෝෂය යනුවෙන.ි එමගින් භූත, ප්‍රේත අමනුෂ්‍යයන්ට එම ආලෝකය නිවසට ඇතුළුවීමට දමන වාසියක් වැනිය. එම නිසා නිවසින් පිටත තබන පහන් ආලෝකය මොනම ආකාරයකින්වත් නිවස දෙසට එල්ල කර තැබීම අශුභ ගෙන දෙන්නක් වේ. බොහෝ දෙනකු නිවස ඇතුළත පූජාසනයක් තනා මල් පහන් තබයි. මෙය හදවතින් භක්තියෙන්ම හා මා කලින් ප්‍රකාශ කළ අයුරින් පරම්පරාවෙන් පුරුද්දට කරගෙන යන කටයුත්තක් බඳුය. නිවසේ පහන් දැල්වීම සඳහා සුදුසු දිශාවන් වන්නේ උතුර, නැඟෙනහිර ඊශාන දිශාවයි.

සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් දිශාව හෙවත් ප්‍රඥාවේ දිශාව නැඟෙනහිරය. බුදුවරු මෙලොවට ජන්ම ලද රට පිහිටි (ඉන්දියාව) උතුර දිශාවට අයත් අතර නිවසට දේවාකර්ශනය ගෙනෙන දෙවියන් වැඩවසන දිශාව වන්නේ ඊශාන දිශාවයි. ඊශාන දිශාවට කෙදිනකවත් මරු නොමැති දිශාවයි. ඉන්දියාවේ නම් ඊශාන දිශාව යනු නිවසේ පූජා කාමරය යොදන දිශාව වේ. මෙහිදී අප පහන් තබා වන්දනාමානය කළ යුතු වන්නේ ඊශාන දිශාව බලාගෙනය. එහෙම නොමැතිව අපගේ තබන පිළිම වහන්සේ ඊශානට හරවා තැබීම නොවේ. බුදුපිළිමයක් නම් සෑම විටම නිරිත දකුණ දිශාවට මුහුණලා තැබිය යුතුය. නිවසේ ඉදිකරන පූජාසනය අවම වශයෙන් අඩි 4කට වඩා උස් විය යුතු අතර තමන් සිටගත් විට තණමස්තකයේ උසට ප්‍රමාණවත් අතර වැඩි උසකින් තැබීම එම ස්ථානය අපිරිසිදු වීමට හැකිය. නිවසක් ඇතුළත මා කලින්ම ප්‍රකාශ කළ කතාවෙහි වගේ කෑම කාමරවලම සෑම ස්ථානයකම වන්දනාමාන නොකළ යුතුය. සෑම ස්ථානයකම පහන් දැල්වීම ශුභ නොවේ. කාටත් පොදුවේ වන්දනාමාන කිරීමට හැකි වන අයුරින් එක ස්ථානයක පැවතීම ගෞරවාධාරයට පත්වන්නකි. සෑම තැනකම පිළිම පින්තූර එල්ලීම ඒවාට කරන අගෞරවයකි. නිවසක පඩිපෙළ යට පිහිටි හිස් අවකාශයේ පිළිම පින්තූර තබා පූජාසනය ඉදිකර පැවතීම ඉතාම අශුභ වේ. සමහර වෙළෙඳසැල්වල පඩිපෙළ යට ද එසේ සිදුකරයි. එවිට සිදුවන්නේ අපගේ ශාස්තෲන්ව පාගාගෙන හිසට උඩින් ගමන් කිරීම වැනි කටයුත්තකි. ඒ වගේම නිවසේ නාන කාමරයේ බිත්තියට, නිවසේ කුස්සියේ බිත්තියට කිසිම ආගමික පිළිමයක් තැබීම, රූපයක් එල්ලීම අශුභ වේ. පූජාසනයක් ඉදිකිරීම කළ යුත්තේ ඉතාම නිදහස් තැනකයි. නිවසේ ආලින්දයේ වුවද ඊශාන දිශාවේ පූජාසනය තැබීම අශුභ නොවේ.

නිවසක නිදන කාමරවල පහන් තැබීම හා ප්‍රධාන ද්වාරයට උඩින් ලෑල්ලක් ගසා මල් පහන් දැල්වීම ද ශුභ නොවේ. බොහෝ වෙළෙඳසැල්වල මේ වැරැද්ද කරයි. බුදුන් වහන්සේ වෙනුවෙන් බොහෝ නිවෙස්වල බුද්ධ පූජාව තබයි. උදේට තබන බුද්ධ පූජාව ආපසු ගන්නේ රාත්‍රි කාලයේ පහන තැබීම සඳහා මතක් වුණ විටදීය. එවිට එය නරක් වී කුහුඹුවන් පැමිණේ. මෙවැනි වැරදි ක්‍රම නිසා ප්‍රේත කොටස් නිවසට කැන්දවා ගනී. බුද්ධ පූජාව තබා ස්වල්ප වේලාවක් තුළ එය ඉවත් කළ යුතුයි. තබන පහන සෑම විටම උඩ ආවරණයක් සහිත පහනක් තබන්න එසේ නොවූ විට කුරුමිණියන් වැනි කෘමි සතුන් පහන් දැල්ලට පැන පිළිස්සී පහන තුළ තැන්පත් වේ. පහන අපරිසිදුවේ. නිවසේ පූජාසනය තුළ බුදුපළිමය දෙවි පිළිමවලට වඩා උසින් තබන්න. දෙවි පිළිම ආදිය එයට පහලින් තබන්න. පහනේ පහන් දැල්ල පිළිමය දෙසට තැබීම කරන්න. නිවසේ පහන් තැබීම සඳහා ප්‍රථමයෙන් හොඳ පිළිම වහන්සේ නමක් තෝරා ගන්න. නියම උස, පළල ඇති පිළිමයකට මල්, පහන්, සුවඳ කූරු, බුද්ධ පූජාව තැබීම තුළින් ආපෝ, තේජෝ, පඨවි, ආකාශ යන පංච මහා ධාතුන් සක්‍රිය කිරීමට හැකියාව පවතී. මේ සඳහා ලබාගත යුතු බුදුපිළිමයක නම් උස × පළල අනුපාත විශ්ව අනුපාතය හෙවත් රන් අනුපාතයට ඇති 1.168 අනුපාතය සහිත පිළිමයක් ගත යුතුය. මෙහිදී ආපෝ ධාතුව නියෝජනය කරමින් එම පිළිම වහන්සේට පැන් වීදුරුවක් තබන්න. තේජෝ ධාතුව සක්‍රිය වීම සඳහා පහන් ආලෝකය ද වායෝ ධාතුව සක්‍රිය කිරීම සඳහා සුවඳ හඳුන්කූරක් ද පඨවි ධාතුව නියෝජනය කිරීම සඳහා ඝන ආහාර ද්‍රව්‍යයක් බුද්ධ පූජාවට ඇතුළත් කර පඨවි ධාතුව සක්‍රිය කරන්න. මේ තුන් ධාතුව ශක්තිමත් කර නිවසේ විශ්ව ශක්තිය බලවත් කර ධනය සෞභාග්‍ය, නිරෝගිකම, කීර්තිය, යසස, වර්ධනය කරගැනීමටත් වාස්තු දෝෂවලින් ආරක්‍ෂා වීමටත් හැකියාව ලැබෙනු ඇත.

පංච මහා ධාතුන් සක්‍රිය වන ආකාරයට නිවාසවල බුදු පහන දල්වන්න

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment