මිෂෙල් වයඹ සරසවිය සමග අලුත්ම වැඩක

295

සාගරිකාට ලැබෙන ප්‍රතිචාර එමටයි

සුදු ඇඳගෙන කළු ඇවිදින් හි අයෝමා, පොදූ සීසන් 2 හි දූමී කැන්යූ හියර් මී හි මහීමි, පෝර්ක් වීදියේ හි වෙනුගි ලෙසින් පසුගිය කාලය පුරාවට ඔබ හමුවට ආ මිෂෙල් දිල්හාරා මේ දිනවල කාසි ටෙලිනාට්‍යයේ සාගරිකා ලෙසින් වෙනස්ම චරිතයකින් ඔබ හමුවට පැමිණෙනවා. හැබැයි අද අපි කියන්න හදන්නේ රංගනයෙන් පිටට ගිය ඇය පසුගිය දවස්වල කළ වෙනස්ම කතාවක් ගැනයි. ඇය ඇයි මෙවැනි වැඩක් කළේ කියලා අපි මිෂෙල්ගෙන් විමසුවා.

මිෂෙල් වයඹ සරසවිය සමග අලුත්ම වැඩක

● කාලෙකට පස්සේ කාසි තුළින් වෙනස්ම චරිතයක් ලැබුණා නේද?

ඔව්. කාසි නාට්‍යය ඉරේෂ් ලොකුබණ්ඩාර මහතාගේ අධ්‍යක්ෂණයක්, සමුද්‍රා හික්කඩුව සහ ශ්‍රීනාත් අර්ල් ද සිල්වා දෙපළගේ නිෂ්පාදනයක්. නාට්‍යයේ මම නිරූපණය කරන්නේ සාගරිකාගේ චරිතය. මේ චරිතය මම මෙතෙක් කරපු චරිතවලට වඩා ගොඩක් වෙනස්. වලව්වක චරිතයක් කරන මුල් වතාව.

● කාසිහි සාගරිකාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාර ද?

ඒ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අන්තර්ජාලයෙන් සහ මඟතොටේදීත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මිෂෙල් වයඹ සරසවිය සමග අලුත්ම වැඩක

● සාගරිකාගේ පිටපත අතට ලැබෙන කොට මොකද හිතුණේ?

මුලින්ම මට මේ නාට්‍යයේ අධ්‍යක්ෂක ඉරේෂ් ලොකුබණ්ඩාර මහතා පිටපත දෙද්දී කිව්වා සාගරිකාගේ චරිතය ටිකක් ගැඹුරු, සංකීර්ණ සහ අභියෝගයක් තියෙන චරිතයක් කියලා. මමත් ගොඩක් වෙලාවට තෝරගන්නේ මට play කරන්න පුළුවන් සහ සමාජයට හොඳ ආදර්ශයක් දෙන චරිත. ඉතින් පිටපත කියෙව්වට පස්සේ මට සාගරිකාගේ චරිතය නිරූපණය කරන්න ගොඩක් ආස හිතුණා. ඒ වගේම මට ලොකු වෙනසක් කරන්න පුළුවන් චරිතයක් කියලා හිතුණා.

● මෙතෙක් ලැබුණු චරිතවලට වඩා සාගරිකා ගොඩක් වෙනස් කියලා හිතෙනවා ද?

ඔව්. මොකද කාසි නාට්‍යයේ මට ලැබුණු සාගරිකාගේ චරිතය සමාජ ස්ථර දෙකක් නියෝජනය කරනවා. සල්ලි ඇති නැති පරතරය හා මිත්‍යා මත සහ රැවටීම් නිසා ජීවිතය අඳුරු වෙන තරුණියකගේ චරිතයක්. ඉතිං එකම චරිතය වෙනස් විදිහට ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට නිරූපණය කරන්න මට අවස්ථාවක් ලැබුණා.

මිෂෙල් වයඹ සරසවිය සමග අලුත්ම වැඩක

● පහුගිය දවස්වල වයඹ සරසවියත් එක්ක එකතුවෙලා අලුත් වැඩක් කළා නේද? ඒ ගැනත් කතා කළොත්?

වයඹ විශ්වවිද්‍යාලයේ TREE FOR LIFE කියල පරිසර සංවිධානයක් පටන් ගත්තා. ඒක එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ තිරසර සංවර්ධන පරමාර්ථවලින් 13 වැනි පරමාර්ථය.
REFORE STATION යටතේ කරන මේ වැඩසටහන, අද වෙනකොට අපිට නැතිවෙලා තියෙන වනාන්තර ප්‍රමාණය නැවත වගා කරලා 2030 අවුරුද්ද වෙනකොට වායුගෝලයේ දැනට තියෙන CARBON ප්‍රමාණය අවම කරන්න විශ්වවිද්‍යාල ළමුන් පිරිසක් ගත්ත උත්සහයක්. මේ සංවිධානයේ නිර්මාතෘ තක්ෂිලා විජේසිංහත්, උපසභාපති හර්ෂි හේරත්, ලේකම් ඉරේෂා පෙරේරා සහ තවත් සිසුන් විශාල ප්‍රමාණයකගේ එකතුවෙන් පටන්ගත්ත වැඩක්. වැඩසටහනේ දී ගස් විශාල ප්‍රමාණයක් වයඹ විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේ අපි හිටෙව්වා.

මිෂෙල් වයඹ සරසවිය සමග අලුත්ම වැඩක

● එම වැඩසටහනට තව කවුද සහභාගි වුණේ?

මේ වැඩසටහනට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත්. කේ.ජයසිංහ මහතාත්, වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජේ.සී.එදිරිසිංහ මහතාත්, ආචාර්ය ඩබ්ලිව්.ජේ. එස්.කේ.වීරක්කොඩි මහතාත්, කුලියාපිටිය අතිරේක අඩවි වනනිලධාරි වසන්ත ජයතිලක මහතාත් මේ වැඩසටහනට සහභාගි වුණා.

● විශ්වවිද්‍යාල සහ පාසල් ළමුන් පරිසර ව්‍යාපෘති සඳහා ඔබවම තෝරා ගන්නේ ඇයි?

රංගන ශිල්පිනියකට අමතරව පරිසරවේදිනියක් ලෙස ඔබ අද වෙනකොට වැඩ කරනවා නේද?

අවුරුදු හතරකට විතර කලින් දැනට ලෝකයේ ලොකුම පාරසරික සංවිධානයක් වන Earth Day Net දරන ආයතනයේ ශ්‍රී ලංකාවේ තානාපති ධුරය මට ලැබුණා.
Earth Day Net දරන ආයතනය අද වෙනකොට රටවල් 192 ශාඛා 150,000 විතර ක්‍රියාත්මක වෙන සංවිධානයක්. තානාපති ධුරය ලැබීමෙන් පසුව අද වෙනකොට ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල 10කට සහ පාසල්වල දේශන සහ ව්‍යාපෘති 250කට අධික ප්‍රමාණයක් කරන්න පුළුවන් වුණා. අද වෙනකොට වායු දූෂණය නිසා ලෝකයේ අවුරුද්දකට මිලියන 6.5 මියයන තත්ත්වයක අපි ජීවත් වෙන්නේ. මම ගොඩක් විශ්වවිද්‍යාල සහ පාසල් එක්ක මේ ව්‍යාපෘති කරන්න හේතුව, මම විශ්වාස කරන හැටියට ඊළඟ නිර්මාණ ලෝකෙට බිහිවන්නේ මේ ආයතන දෙකෙන්. මොකද මේ ආයතන දෙකෙන් තමයි අනාගත විද්‍යාඥයා, ඉංජිනේරුවා සහ නව නිර්මාණකරුවන් බිහිවෙන්නේ. අනාගතයේ දී ඔවුන් කරන නිර්මාණවල පරිසරය ප්‍රධාන සාධකයක් බවට පත් කරගන්නේ එතකොටයි.

මිෂෙල් වයඹ සරසවිය සමග අලුත්ම වැඩක

● මිෂෙල් ඇයි මේ වගේ සමාජ සත්කාර වැඩ කරන්නේ?

මේ සමාජයේ ජීවත් වෙන අපි හැමෝට ම එක එක targets තියනවා. අපි හැමෝම මහන්සි වෙලා ඒ ඉලක්කවලට යන්න ගොඩක් උත්සාහ කරනවා. මේ targetවලට අපි දුවන race එකේ දී අපිට ගොඩ දෙනෙක් මඟ හැරෙනවා. මම විශ්වාස කරන විදිහට රංගනයෙන් මට මුදලක් ලැබෙනවනම් ලැබෙන්නේ, ඒක බලන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්න නිසා. සමාජ මාධ්‍යයේ, පාර තොටේ දී අපිව දිරි ගන්වන අය දුක් විඳිද්දී, මම විතරක් මගේ කෑම වේල් තුන හරියට කන එක වැරදියි කියලා හිතුණා. ඒ නිසා මට ලැබෙන ආදායමෙන් කොටසක් සමාජයටත් යළි ලබාදෙන්න මම උත්සාහ කරනවා.

● නිළියක් විදියට මේ කරන වැඩවල අරමුණ මොකක්ද?

මම සමාජ සේවා කටයුතු කරන්නේ අවුරුදු 15 ඉඳන්. ඒ කාලේදී මම පටන් ගත්ත ගොඩක් ව්‍යාපෘති සමාජගත කරගන්න මට බැරි වුණා. සමහර projects fail වුණා. නමුත් මම රංගන ශිල්පිනියක් වුණාට පස්සේ මට ලැබෙන ජනප්‍රියත්වය ඒ සඳහා යොදගන්න මම කල්පනා කළා.

● නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment