චමරි යළිත් ක්‍රිකට් පිටියේ රැජනවේ

438

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (23දා) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින පිතිකාරිණියන් අතර නැවත වරක් පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වී තිබේ.

මීට පෙර 2023 වර්ෂයේ ජූලි මසදී ද අන්තර්ජාතික එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ හිමිකර ගැනිමට චමරි සමත්ව සිටියාය.

මේ දක්වා පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසු වූ චමරි පසුගියදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණට පත් වී තිබේ.

පසුගිය 17 වැනිදා පැවති දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහි තෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302ක වාර්තාගත ඉලක්කය සම්පූර්ණ කරගනිද්දී, චමරි නොදැවී ලකුණු 195ක් රැස් කළාය.

එම ලකුණු සංඛ්‍යාව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ හඹා යෑමකදී පිතිකාරිණියක ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

එම තරගයේදීම නොදැවි ලකුණු 184 ක් වාර්තා කළ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වාට් කාන්තා පිතිකරණයන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

මේ අතර චමරිගේ පෙරමුණට පැමිණීමත් සමගින් එහි පෙරමුණේ රැඳී සිටි එංගලන්තයේ නටාලි ෂීවර් එහි දෙවැනි ස්ථානයට පත්ව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක්දින ශ්‍රේණිගත කිරීම්හි පිතිකරුවන් අතර අංක 1 ස්ථානයට පැමිණි පළමු අවස්ථාව සනත් ජයසූරිය වන අතර ඉන් පසුව ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානයට පත්වූයේ චමරි අතපත්තු වේ.

චමරි මෙවර අංක එක හිමිකර ගැනීමේදී ප්‍රසාද ලකුණු 773ක් හිමිකරගෙන සිටින අතර, එය ඇය ලබාගත් වැඩිම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment