වැස්සත් ජලාශ 73 ‘ලොස්’

345

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වර්ෂාපතනයකන් වාර්තා වුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ හැත්තෑතුනේ ජල ධාරිතාවයේ වැඩිවීමක් සිදුව නැතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය. සමස්ත වාරි ජලාශවල ජල ධාරිතාව සියයට 27 දක්වා අඩු වී ඇතැයි ද ඇය කීවාය.

වර්ෂාපතනයන් වාර්තා වුවත් ජලාශ ප්‍රදේශවල ඉහළ ප්‍රදේශයට එම වර්ෂාව නොලැබීම, ජලාශවලට ගලා ඒමට තරම් වර්ෂාපතනයක් නොලැබීම සහ පවතින වර්ෂාව පොළවට උරා ගැනීම වැනි හේතු නිසා ජලාශවල ජල මට්ටම වැඩි වීමට තරම් බලපෑමක් සිදුව නැතැයි ද ඇය කීවාය.

මේ වනවිට ප්‍රධාන ජලාශ හැත්තෑතුනේ අක්කර අඩි ලක්ෂ 08 ක ජල ධාරිතාවක් පවතින බව ද ඇය කීවාය. පසුගිය වර්ෂ කිහිපය හා සසඳා බැලීමේදී මෙවර වෙනත් වර්ෂවලට වඩා ජලාශවල සියයට 03 ක පමණ ජල ධාරිතාවක් අඩු වී ඇති බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment