අවසන් රන්දෝලි පෙරහැර ජන ගඟක් මැද නිමවෙයි

433

ජනපතිත් එක් වෙයි
දවල් පෙරහැර අද

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අති උත්කර්ශවත් අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30 දා) රාත්‍රී 7. 03ට උතුරු දිශාභිමුඛව දළදා මාලිගාවෙන් පිටත් ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදිය ඔස්සේ වීදි සංචාරය කළේය.

හෙළ කලා සංස්කෘති අංග රැසක් සහිත නර්තන කණ්ඩායම් පිරිවරා විචිත්‍රවත් වූ පෙරහැරේ දළදා කරඬුව වැඩමවීම කතරගම වාසනා ඇතු විසින් සිදු කෙරිණි. දකුණු පසින් මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා ඇතු ද වම්පසින් කැලණියේ කණ්ඩුල ඇතු ද දෑලේ ගමන් කළ හ.

අවසන් රන්දෝලි පෙරහැර ජන ගඟක් මැද නිමවෙයි

දළදා මාලිගා පරිශ්‍රයේ මහ මළුවේ ඉදිරිපිට රැජන හෝටලයේ සඳළුතලයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් පෙරහැර නරඹමින් අතීතයේ ලංකාවේ භාරකරු වූ රජු විසින් සිදුකරන ලද පෙරහැර චාරිත්‍ර විධි වෙත අනුගත වුණේය.

නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජන සමූහයා සාධුකාර හඬ නංවමින් පෙරහැර මගෙහි අතුරු සිදුරු නොමැතිව රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දවල් පෙරහැර අද (31) වීදි සංචාරය කරයි.

ගණ දෙවි කෝවිලෙන් උතුරු දිශාභිමුඛව අද (31 දා) පෙරවරු 11.59 ට ගමන් ආරම්භ කරන සතර මහා දේවාල පෙරහැර කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල් සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් ගෙන ඩී.එස්. සේනානායක වීදියේ මංසන්ධිය දක්වා පැමිණෙයි.

අස්ගිරි ගෙඩියේ විහාරයෙන් පස්වරු 1.16 ට පිටත්වන දළදා මාලිගාවේ පෙරහැර හා දේවාල පෙරහැර ඩී.එස්. සේනානායක වීදියේ මංසන්ධියේ දී එක්වීමෙන් පසු දළදා මාලිගා පෙරහැර පෙරටු කරගත් සතර මහා දේවාල පෙරහැර ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදිය දිගේ ඉහළට පැමිණ මාලිගා චතුරස්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට ගෙවදීමට නියමිතය.

දවල් පෙරහැර නිම වීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහැර සංදේශය රැගෙන පෙරහැරින් ජනපති මැඳුර වෙත ගමන් ගනිති.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනපතිවරයා වෙත භාරදීම අද (31) පස්වරුවේ මහනුවර ජනපති මැඳුරේ දී සිදු කෙරෙන අතර මහනුවර ඇසළ මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වන්නේ එම චාරිත්‍රයෙන් පසුව ය.

අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා දළදා මාලිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් අගයමින් ජනපති සම්මාන ප්‍රදානය කිරීම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වෙති.
සමන්තී වීරසේකර,සිරිල් විමලසුරේන්ද්‍ර, ලලන්ත වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment