මත්ද්‍රව්‍යවලට එරෙහි පොලිසියේ සටනට ජනතා සහායත් අත්‍යවශ්‍යයි

113

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සපුගස්කන්ද විශාඛා බාලිකාවේදී කියයි
සෑම ගමකටම මත්ද්‍රව්‍ය පැතිරිලා

අද සෑම ගමකම මත්ද්‍රව්‍ය පැතිරිලා. මත්ද්‍රව්‍ය නැති ගමක් සොයා ගන්නට නැහැ. ඒ නිසා මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනතාවගේ පූර්ණ සහාය පොලිසියට ලබා දිය යුතු යැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කෙළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ සඳහන් කළේ යුනිලීවර් පුද්ගලික ආයතනය මගින් සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලයේ තෝරා ගන්නා ලද සිසුවියන් 200 දෙනකුට පාසල් පොත් කට්ටල හා විද්‍යාලයීය පුස්තකාලයට රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා පොත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් ඉකුත්දා (04 වැනිදා) පෙරවරුවේ එම විද්‍යාලයීය ශාලාවේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

සිසුවියන්ට පොත් ප්‍රදානය කිරීම හා පුස්තකාලයට පොත් ප්‍රදානය කිරීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතින් සිදු කරනු ලැබිය.

මේ උත්සවය අමතා වැඩිදුරටත් කතා කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ ද පැවසීය.

මේ වනවිට ඇතැම් පාසල් දරුවන් ද මත්ද්‍රව්‍ය වලට නැඹුරු වීමට පටන් ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් පාසල් දරුවන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට පවා පියවර ගෙන තිබෙනවා. නමුත් පාසල් දරුවන්ගේ පොත් බෑග් පරීක්ෂා කරන්නට එපා කියලා අපි පොලිසියට උපදෙස් දුන්නා. හේතුව එය පොලිසියට අයිති කාර්යයක් නොවන නිසයි. එය පාසල්වලට අයිති කාර්යයක් වෙනවා.

නමුත් පාසල් අවට මත්ද්‍රව්‍ය තිබී හසුවුණොත් එම පුද්ගලයන්ට අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. මේ ගැන දැඩි සෝදිසියෙන් පොලිසිය සිටිනවා. රටේ අනාගතය රඳා පවතින්නේ දරු සම්පත මතයි. ඒ නිසා දරුවන් නිසිමගට යොමු කොට ඔවුන් රටට වැඩදායක පිරිසක් බවට පත් කළ යුතුයි. ඒ සඳහා සියලු දෙනාම ඇප කැප වී කටයුතු කරන්නට ඕනෑ.

අද ස්මාර්ට් ජංගම දුරකථනයට පාසල් දරුවන් ළංවීම වැඩි වෙමින් පවතිනවා. මෙය හොඳ ප්‍රවනතාවක් නෙමෙයි. සමහරුන් විවාහ මංගල උත්සවවලදී නොබිනා ඉරියව් වලින් ගන්නා ජායාරූප සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනවා. තවත් සමහරුන් මත්පැන් සාද මුහුණු පොතට දමනවා. මේවා දරුවන් බලනවා. ඒ පහත් තත්ත්වයට අද රට වැටිලා.

සහකාර විදුහල්පති අලුදෙනියේ සුමනරතන හිමියෝද විදුහල්පතිනි දයානී තිලකසිරි, යුනිලීවර් පුද්ගලික ආයතනයේ සැපයුම් අධ්‍යක්ෂ දමිත් අබේරත්න හා එහි සැපයුම් හා පාරිභෝගික සේවා ප්‍රධානී රුමාල් පුනාන්දු යන මහත්ම මහත්මීහු ද කතා කළහ.

මේ අවස්ථාවට කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජේ. වයි. බී. ක්‍රිෂාන්ත මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීහු ද සහභාගි වූහ.

එහිදී මෙහි ප්‍රධාන ආරාධිතයා වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවා ගෙන ආ අයුරු ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පාසල් සිසු දැරියන්ට පාසල් පොත් කට්ටල ප්‍රදානය කළ අයුරු ද විද්‍යාලයීය පුස්තකාලයට පොත් ප්‍රදානය කළ අයුරු ද මෙහි දැක්වෙයි.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment