දරුවා මැරෙන තුරු යාච්ඥා‍ කළ මව රිමාන්ඩ් – පියාට – මිත්තනියට ඇප

337

දැඩිව රෝගාතුරුව මරණාසන්න තත්ත්වයට පත්ව ලෙඩ ඇඳේ පසු වූ තම 10 හැවිරිදි දරුවාට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම පසෙකලා ඔහු මියයන තුරු සහ මියගොස් දින දෙකක් පසුවන තුරුත් එම දරුවාගේ සිරුර බඩල්ගම ආඬිමුල්ල ප‍්‍රදේශයේ නිවසක සඟවා දරුවාට පණ ලැබීමට යාච්ක්‍ඳා මෙහෙයේ යෙදී සිටියදී බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ (11 දා) ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනාගෙන් මවට ඇප ලබා දීම ප‍්‍රතික්‍ෂේප කළ මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය සැකකාර මව මේ මස 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

අනෙක් සැකකරුවන් දෙදෙනා වන පියා සහ මිත්තනිය රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටද නියෝග කළාය. ඇප ප‍්‍රතික්‍ෂේප වූ සැකකාර මව තුෂංගා මදුවන්ත නමැත්තියයි. ඇප ලැබූ සැකකරුවන් වූයේ පියා වන සුමිත් ජානක සහ මිත්තනිය වන පද්මනාදන් මාලනී ය.

මියගිය 10 හැවිරිදි මලිඳු දුෂන්ත නමැති රෝගී දරුවා පිළිබඳව නොසැලකිල්ලෙන් ක‍්‍රියාකරමින් දරුවාට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දී නොතිබිණි. සැකකරුවන් සිදුකළ එකම දෙය වූයේ දරුවා මිය යෑමෙන් පසුවද ඔහුගේ සිරුර දින දෙකක් නිවසේ සඟවා දරුවාට පණ ලැබීමට යාච්ක්‍ඳා කිරීම විය. බඩල්ගම පොලිසියට ලත් තොරතුරු අනුව එම නිවස වෙත ගිය බඩල්ගම පොලිසියේ නිලධාරීහු නරක්වන තත්ත්වයට පත්ව තිබූ දරුවාගේ සිරුර භාරගෙන එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මෙම සැකකරුවන් මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවට පැමිණවීමෙන් අනතුරුව විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප‍්‍රනාන්දු මහතා කරුණු දක්වමින් මෙම සැකකරුවන් තමාගේ දරුවාගේ ජීවිතය ගලවා ගැනීම පිළිබඳ අන්ධ විශ්වාසයට පත්ව තිබූ බවත්, ඔවුන් සියල්ලක් සිදුකළේ තම දරුවා බේරා ගැනීමේ එකම අරමුණෙන් යුතුව බවත් ඒ පිළිබඳ සැලකිල්ලට ගෙන සැකකරුවන්ට සුදුසු ඇප ලබා දෙන ලෙසට අයැද සිටියේය. මෙහිදී පැමිණිල්ල මෙහෙය වූ බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා කරුණු දක්වමින් මෙම මරණයත් සමඟ ප‍්‍රදේශයේ ජනතාව දැඩි කෝපයෙන් යුතුව සිටින බවත් එම තත්ත්වය මත සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළකරන බවත් කීය.

වැඩිදුර විභාගය පෙබරවාරි මස 18 වැනිදා පැවැත්වේ.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment