ලෝක ආහාර දිනය හා ශ්‍රී ලංකාවේ බඩගින්න

185

ඊයේට (16 දා) යෙදී තිබුණු ලෝක ආහාර දිනය නිමිත්තෙනි.

ලෝක ආහාර දිනය හා ශ්‍රී ලංකාව පිළිබඳ කතා කිරීමේ දී සියලු පුරවැසියාටම තමාගේ දෛනික ආහාර වේල් තුනම ලබාගැනීමේ හැකියාවක් පවතිනවා ද යන්න සොයා බැලීමවත් කළ යුතුය. කොරෝනා වසංගත කාලය තුළ රටට බලපෑ අහිතකර ප්‍රතිඵලය හොඳින්ම දැනුණේ ගෘහ මූලිකයාගේ පසුම්බියටය. විදෙස් රටවල පවතින යුධමය වාතාවරණයත්, ස්වභාවධර්මයේ ව්‍යවසන ශ්‍රී ලංකාවේ පාලනය කරන්නන්ගේ රටට නොගැළපෙන පාලනය වැනි කාරණා සාමාන්‍ය ජනතාවගේ බත් පිඟාන දක්වා බලපෑවේය. ලෝකය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආහාර අර්බුදය පිළිබඳව කතා කිරීම ලෝක ආහාර දිනයේ දී වැදගත් වෙයි. ජනගහනය සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන අතර හදිසි ආධාර ලබා නොදුන්නහොත් තත්ත්වය තවත් පිරිහීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළේය. ඇස්තමේන්තු කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී සිටී. ළදරු මන්දපෝෂණය දර්ශක වලින් අප රට මේ වන විට ඉතා අවාසනාවන්ත තත්ත්වයක් කරා ගමන් කර තිබේ. ළමයින්ගේ බර අඩුවීමේ මන්දපෝෂණ තත්ත්වය ගතහොත් අප රට සිටිනුයේ ඉතාමත් නරකම තැනකය. එහි බරපතළකම කෙසේදයත් ලංකාව මන්දපෝෂණය උග්‍රවන රටක් හැටියට මේ වන විට හඳුනාගෙන තිබේ.

ආහාර සුරක්ෂිතතාවය බිඳවැටීමෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කුඩා දරුවන්ට සහ ගර්භණී මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ටය. ශ්‍රී ලංකාවේ ළමුන් 50,000කට අධික සංඛ්‍යාවක් ළමා මන්දපෝෂණයෙන් පෙළෙන බව යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කළේය. වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව ප්‍රකාශ කළේය. රටේ තරුණ ප්‍රජාව මෙයින් බලපෑමට ලක් වන්නේ සිතාගත නොහැකි ලෙසය. තරුණ තරුණයින් මේ කාලයේ තම ආහාර වේල නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීමේ අහිතකර ප්‍රතිඵල ඔවුන්ට අත් වන්නේ ගර්භණී කාලයේදීය. මේ නිසා මේ පාර්ශව වලට වැඩි වශයෙන් පෝෂණය අවශ්‍ය වේ. විශ්වවිද්‍යාල තුළ කර ඇති පර්යේෂණ වාර්තා වලට අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දවසකට පරිභෝජනය කරනුයේ ආහාර වේල් දෙකක් පමණි. ඔවුන්ට උදේ ආහාර වේල ගතහොත් රාත්‍රී කෑම වේල ගන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් පවතී. එපමණක් නොව ඔවුන්ට ඔවුන්ගේ දෛනික අධ්‍යාපන වැඩකටයුතු මත තමාට නිසි පෝෂදායි ආහාරයක් ලබා ගැනීමට තියෙන හැකියාව ද කාලය ද මුදල ද ඔවුන්ට ප්‍රශ්නයකි. එපමණක් නොව පාසල් ළමුන්ට ද අත් වී තිබෙන්නේද මේ ඉරණමමය. උදෑසනට පාසල් යැවීමට මව්වරුන් දරුවන්ට කතා කරන්නේ නැති තත්ත්වයක් උදාවී තිබේ. ළමයින් අවදිවන වෙලාවක අවදිවීමට ලබාදී උදෑසන ආහාරය හා දවල් ආහාරය එකම වේලාවක ලබාදීමට මවට පියාට සිදුවී ඇත. එපමණක් නොව උතුරු මැද පළාත මහවිලච්චිය, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ළමා මන්දපෝෂණය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.

තම අස්වැන්න නිසි පරිදි කරගෙන යෑමට වගා කරන්නන්ට හැකියාවක් නොමැති වීම, භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම, භාණ්ඩ නොමැති වීම සහ භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන වත්කමක් නොමැති වීම යනාදී ආර්ථිකමය කරුණු පුද්ගලයාගේ ආහාර ලබා ගැනීම කෙරෙහි බලපායි. ඒ වගේම දේශගුණ හා කාලගුණ විපර්යාස ද එක් හේතුවකි. වියළි කාලගුණය වගා කරන්නන්ට ගෙන දුන්නේ ඉසිලිය නොහැකි පීඩනයකි. ජලය දූෂණය වීම, පස සංරක්ෂණය නොවීම, පෝෂදායි ආහාර භාවිතය පිළිබඳ දැනුමක් නොමැතිවීම, ව්‍යාපාරික අරමුණු පුද්ගලයාගේ ජීවිත සමග සෙල්ලම් කිරීම ආදී හේතු මෙලෙස ආහාර අර්බුදයකට සුරක්ෂිතභාවය නොමැති වීමට හේතුවක් වන්නට ඇත. අදාළ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, විශේෂඥයින් මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන මේ අර්බුදයේ තවදුරටත් අතු විහිදා වැඩී යෑමට ඉඩ නොදී පාලනය කිරීමට කටයුතු කළ යුතුය.

සත්‍යාංජලී ජයසිංහ
කැලණිය විශ්වවිද්‍යාලය
ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි.
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment