නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය වන විට කෙටුම්පත් කිරීම අපේක්ෂාවයි – කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර

142

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වනවිට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දළ කෙටුම්පත ආයෝජන කලාපද ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

කම්කර නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා වන ‘ඉන්ෆ්ල්ක්ස් බුද්ධිමය’ සංවාද වේදිකාවේ සිව් වැනි සැසියට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමැතිවරයා මෙසේද කීවේය.

අලුතින් ගෙන ඒමට බලාපොරොත්තු වන නව කම්කරු නීතිය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක් ඇතිකර ගැනීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඒ සඳහා ජනමාධ්‍යවලින් අපට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ සම්බන්ධයෙන් සියළුම මාධ්‍ය ආයතනවලට අපි අපේ ස්තුතිය පළකරනවා. ඒ වගේම අපිට ආරංචි වෙලා තියෙනවා මේ වෙන කොට මේ සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් තැන්වල විවිධ සංවාද ආරම්භ කරන්න සූදානම් කරල තියෙනවා කියලා. මෙන්න මේක තමයි අපට ඕන කරල තිබුණු දේ.

අලුත් කම්කරු නීතිය හදන එක සම්බන්ධයෙන් සමාජයේ සෑම ස්ථරයකම කතාබහක් ඇති විය යුතුයි. සමාජයේ සෑම ස්ථරයකම,අලුතෙන් හදන මේ කම්කරු නීතිය පිළිබඳව යෝජනා, චෝදනා, විරෝධතා සහ සැකසංකා ඉදිරිපත් විය යුතුයි. විවිධ මත ඉදිරිපත් වුනොත් තමයි මේ කටයුත්ත වඩාත් ශක්තිමත්ව කළ හැකි වන්නේ.

උගත් නීතිඥ මහත්මියක් පවා කෙටුම්පතේ තිබෙනවා යැයි කියමින් නැති දේවල් ගැන අදහස් පළ කර තිබුණා. නමුත් මෙහෙම වේදිකාවක් තිබෙන නිසා එම සාවද්‍ය ප්‍රකාශවලට උත්තර දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. බොරුවක් කිව්වා වුනත් ඒ සියළු දෙනාටත් මා ස්තුතිවන්ත වෙනව මේ කතිකාව ගොඩනැගීමට ඔවුන් දායක වීම සම්බන්ධයෙන්.

කම්කරු උපදේශක සභාවෙන් ඉදිරිපත්වන කරුණු තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වන කරුණු තියෙනවා. ලබන සතිය වන විට කම්කරු නිලධාරීන්ගේ අදහස් ලබාගැනීමට අපි අදහස් කරනවා. අපි මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලටත් ආරධනා කරල තියෙනවා. මේ වෙන කොට අපි සියළු මාධ්‍ය මගින් සමාජය දැනුවත් කර තියෙනවා මේ කතිකාවට එකතු වෙලා සිය යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව මේ කිව්ව විදිහට විවිධ විවිධ ක්ෂේත්‍රවලට ආරාධනා කරලා මේ කරුණු ගොනු කර ගැනීම අපි මේ වන විට සිද්ධ කරමින් ඉන්නවා. ඒ ගොනු කර ගන්නාවූ අදහස්වලින් සකස්කර ගන්නා වූ දල කෙටුම්පත අපි කම්කරු උපදේශක සභාව වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කම්කරු උපදේශක සභාව නියෝජනය නොකරන වෘත්තීය සමිතිවලටත් අපි මෙම සකස් කරගන්නාවූ දල කෙටුම්පත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කතිකාවෙන් පසුව හදන මේ දළ කෙටුම්පත ආයෝජන කලාපවල සේවය කරන අය ද ඇතුළුව සියළුම ක්ෂේත්‍ර නියෝජනය කරන වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment