කුරුඳු වාඩියට පැන්න පාතාලයෝ දිගට හරහට වෙඩි තබති

848

එක් අයෙක් මරුට – දෙදෙනෙක් රෝහලේ
තුවාල ලැබූවන් අතර අවුරුදු 4 ක දරුවෙක්

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ කුරුඳු වාඩියකට ඊයේ (19 දා) මහ දවල් කඩාවැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු කුරුඳු තලමින් සිටි පුද්ගලයකු ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කර එහි සිටි සිව් හැවිරිදි දරුවකු ඇතුළු දෙදෙනකුට බරපතළ තුවාල කර පලා ගොස් ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලි දෙකක් අතර කාලයක පටන් පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් සිව් හැවිරිදි දරුවාගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු එල්ල කළ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි වෙඩික්කාරගේ සමන් කුමාර නමැති අයෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ද මිනීමැරුම් නඩුවක සැකකරුවකු බව පොලිසිය පවසයි.

මොහු ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ කාන්තාවක සමග විවාහ වී සිටින අතර කුලී පදනම මත කුරුඳු තැළීමට පැමිණ සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත.

ඊයේ දහවල් 12.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු ටී 56 ගිනි අවියක් ද රැගෙන කුරුඳු වාඩියට කඩාවැදී ඇත. ඝාතනයට ලක්වූ සමන් කුමාර ඇතුළු හය දෙනකු ඒ අවස්ථාවේ කුරුඳු තැළීමේ කටයුතුවල නිරත වෙමින් සිට ඇත.

කුරුඳු වාඩිය පවත්වාගෙන ගිය නිවසේ සිටි සිව් හැවිරිදි අනුජ හසරැල් නමැති දරුවා ද එම ස්ථානයේ සිට ඇත.

යතුරුපැදියේ පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා කුරුඳු තළමින් සිටි සමන් කුමාර ඉලක්ක කර ටී 56 අවියෙන් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. ඒ අවස්ථාවේ සමන් කුමාර මෙන්ම එහි සිටි සිව් හැවිරිදි දරුවා සහ තවත් අයකු ද වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.

සමන් කුමාර සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබේ. බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා සහ අනෙක් පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කළ ඝාතකයන් මහමග ගමන්ගත් යතුරුපැදිකරුවකු බියගන්වා ඔහුගේ යතුරුපැදිය රැගෙන පලාගොස් ඇත.

ගාල්ල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත යක්කලමුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment