ධුරයෙන් නෙරපීමේ උත්සාහය වළක්වන්න; සමාගම් කළමනාකාර අධ්‍යක්ෂගේ නඩුවට ලිඛිත දේශන ගොනු කිරීමට නියෝග

204

සමාගම් තුනක තමන් දැරූ කළමනාකාර අධ්‍යක්ෂ ධුරවලින් හා තවත් සමාගම් පහක අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් කිරීමට සිය සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩලය දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාගම් කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන ගිහාන් සජිත් රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ලබන 11 වැනිදා ලිඛිත දේශන ගොනු කරන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (04 දා) සියලු පාර්ශ්වවලට නියෝග කළේය.

සිය සේවාදායකයා කළමනාකාර අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් තුන පසුගිය වසර කිහිපයේ එකී සමාගම් සමූහයට අයත් සමාගම් අතරින් ඉහළම ලාභය ලබාගත් බවත් ඔහු එකී තනතුරුවලින් ඉවත් කිරීම ව්‍යාපාර සමුහයටම දැඩි අගතියක් වන බවටත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා එය එම සමාගම් සමූහයේ භාණ්ඩාගාරය වසා දැමීමකට සමාන වන්නේ යැයි ද අධිකරණයට පැවසීය.

එබැවින් පෙර නඩු දිනයේදීම එකී ක්‍රියාවලියට එරෙහිව අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කළ බවත් ඉදිරි දිනයේදී වැඩිදුරටත් වාචිකව කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් පැමිණිලිකාර සජිත් රාජපක්ෂ මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් තුන නියෝජනය කරමින් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

සිය සේවාදායකයා, ඔහු දරමින් සිටි තනතුරුවලින් ඉවත් නොකරන ලෙසට මින් පෙර අධිකරණය විසින් ලබාදී තිබූ නියෝගයක්, කසුන් රාජපක්ෂ ප්‍රමුඛ වගඋත්තරකරුවන් උල්ලංඝනය කර ඇති බැවින් ඔවුනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පියවර ගන්නැයි ද සජිත් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට මින් පෙර ඉල්ලීමක් කර තිබිණි.

එම නඩුව ඊයේ විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ සිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැමිණෙන තුරු නඩුව වසා තබන්නැයි (පසුව කැඳවන්නැයි) කසුන් රාජපක්ෂ මහතා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ලිඛිත දේශන ගොනු කිරීමට අධිකරණය මේ වනවිටත් දින නියම කර ඇති බැවින් පසුව කැඳවීමේ අවශ්‍යතාවක් නැති බව පෙන්වා දෙමින් පැමිණිල්ලේ නීතිඥවරු එම ඉල්ලීමට විරුද්ධත්වය දැක්වූහ. එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස කසුන් රාජපක්ෂ, තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අනුර ද සිල්වා, අසංක රාජපක්ෂ ඇතුළු පිරිසක් නම්කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment