ණය දීම නොදීම අදාළ ආයතනික පටිපාටියට අනුව වන්නක් ‘මූල්‍ය ක්‍ෂේත්‍රයේ වර්ධනය සහ ඉදිරි දැක්මට සහාය වීම අපේ කාර්යභාරයයි’

70

දිවයින ඊයේ මුල් පිටුවේ පළවූ ‘ක්‍රිබ්’ පුවත ගැන කාර්යාංශයෙන් නිවැරදි කිරීමක්

ලියාපදිංචි මූල්‍ය ආයතනවල ණයකරුවන්ගේ තොරතුරු රැස්කර විධිමත්ව සකස්කර ලියාපදිංචි ණය දෙන ආයතනවලට ලබාදීම හා මූල්‍ය ආයතනවල ඉදිරි දැක්මට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්යභාරය බව එහි සාමාන්‍යාධිකාරි පුෂ්පික ජයසුන්දර මහතා අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමක දැක්වේ.

‘රටෙන් භාගයක්ම ක්‍රිබ්එකේ හිරවෙලා’ මැයෙන් ඊයේ ‘දිවයින’ පුවත්පතේ මුල් පිටුවේ පළකර ඇති පුවත වැරදි ආකාරයට අර්ථ දක්වා ඇති බව පැහැදිලි කරමින් ජයසුන්දර මහතා අප වෙත එවා ඇති ප්‍රකාශයක මේ බව දැක්වේ.

පුද්ගලයන්ගේ ණය තොරතුරු, ඔවුනට මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමට නොහැකි වන ලෙස කාර්යාංශයේ ලේඛනගත කර ඇති බවට ඉන් පළවී ඇති අදහස වැරදි බවත් එවැන්නක් කාර්යාංශයේ කාර්යයක් නොවන බවත් ඔහු පවසයි.

ලියාපදිංචි මූල්‍ය ආයතනවල ණයකරුවන්ගේ තොරතුරු රැස්කර විධිමත්ව සකස් කර ලියාපදිංචි ණයදෙන ආයතනවලට ලබාදීමට සහායවීම පමණක් කාර්යාංශය ඉටුකරන බවත් ණයක් ලබාදීමේ හෝ නොදීමේ තීරණය ණය දෙන ආයතන විසින් ආයතනික ණය අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රියා පටිපාටියට අදාළව සිදුකරන බව ද පවසයි.

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් බහුතරයකට විධිමත් මූල්‍ය ආයතනයන්හි ණයක් ලබාගැනීමට අවස්ථාව නොලැබීමට විවිධ කාරණා බලපා ඇති අතර එම තත්ත්වය අවබෝධ කරගෙන කාර්යාංශය තම කාර්යභාරය තුළ විවිධ සේවා හා ක්‍රියාදාමයන් හඳුන්වාදීමට සෑම විටම උත්සාහ දරා ඇත. තමන්ගේ ණය තොරතුරු වාර්තාව ලංකාවේ ඕනෑම පුරවැසියකුට කාර්යාංශයෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර එය පරිශීලනය කිරීම තුළින් ඉහළ ණය ශක්‍යතාවක් පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම කාර්යාංශය විසින් කරදෙනු ලැබේ.

මීට අමතරව මූල්‍ය වෙළෙඳපොළ තුළ පහළ ස්ථාවරයන්හි සිටින පුද්ගලයන් හට තම ණය ශක්‍යතාව, ණය නොවන වෙනත් ගෙවීම්, අතීතයන් හරහා සංඛ්‍යාත්මක හා විශ්ලේෂණාත්මක ක්‍රමවේදයකට සකස් කළ ණය ලකුණු ක්‍රමයක් (Credit Score) හරහා හඳුන්වාදීමට කාර්යාංශය දැනට කටයුතු කරමින් සිටී. මෙම ක්‍රමය තුළින් ප්‍රධාන ධාරාවේ ණය දෙන ආයතනවලින් ණයක් ලබාගැනීමට අවස්ථාව අවම වී ඇති මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන් හට මූලික වශයෙන් ණය සේවාවකට ප්‍රවිෂ්ට වීමට ඇති හැකියාව නුදුරේදීම වර්ධනය කිරීමට කාර්යාංශයට අවකාශ ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment