දළදා මාලිගා කලාපයට ඇමරිකානුවෙක් ඩ්‍රෝන එවලා -සැකකරු අත්අඩංගුවට

200

ශ්‍රී දළදා මාලිගා අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් පියාසර කර වූ බව කියන ඇමරිකානු ජාතිකයකු දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මහනුවර අවන්හල පරිශ්‍රයේ සිට ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ ඩ්‍රෝන කැමරා පියාසර කරවීමට කටයුතු කර ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් අවසර නොදෙන තත්ත්වයක් තිබිය දී මෙම විදේශීය ජාතිකයා ඩ්‍රෝන කැමරාව දළදා මාලිගා පරිශ්‍රයට යොමුකර තිබෙන බව පොලිසිය පවසයි.

ඩ්‍රෝන කැමරා නිරීක්ෂණය කිරීමේ රේඩාර් පද්ධතිය මීරිගම ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබෙන අතර දළදා මාලිගා පරිශ්‍රයට කවුරුන් හෝ ඩ්‍රෝන කැමරාවක් යොමු කරනු ලැබුවහොත් එය අක්‍රීය කිරීමට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණීමට අවශ්‍ය බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

මෙලෙස අවසර ලබා දීමක් සිදු නොකළ ද දළදා මාලිගා පරිශ්‍රයට ඩ්‍රෝන කැමරා යැවූ පුද්ගලයෝ පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදීම පොලිස් අත්අඩගුංවට පත්වූහ. ගුවන් හමුදා නිලධාරීන් ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා යොදවා සිටියද දළදා මාලිගා පරිශ්‍රයේ ඩ්‍රෝන කැමරා පියාසර කිරීම වළක්වා ගැනීමට හැකියාව නොමැති බව දැන ගන්නට තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා ගැටලුකාරී තත්ත්වයක් ඇති බැවින් ඩ්‍රෝන කැමරා පියාසර කිරීම වැළැක්වීම සඳහා ඩ්‍රෝන ජෑමර් (ෘරදබැ ව්පපැර) උපකරණයක් සවිකළ යුතු බව ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ. මෙම උපකරණ විශේෂ අවස්ථාවල දී පමණක් දළදා මාලිගා පරිශ්‍රයේ සවිකරන බව ද දැන ගන්නට තිබේ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment