මගේ දරුවා මට අහිමි වුණා – ජංගම දුරකථන දරුවන්ට දෙන්න පෙර දෙපාරක් හිතන්න

750

දුකට පත් පියාගෙන් සමාජයට පණිවිඩයක්

ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී ජංගම දුරකථනයක් පාසලට රැගෙන පැමිණි ශිෂ්‍යාවකට පසු දින පියා සමඟ පැමිණෙන්න යැයි විදුහල්පතිවරයකු විසින් අවවාද කිරීමෙන් පසු ශිෂ්‍යාව වස පානය කර දිවි නසාගෙන ඇත.

මියගිය ශිෂ්‍යාව ගලෙන්බිඳුණුවැව හුරුලුනිකවැව අනුර විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි දැරියක් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි. ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් අංක 617/ඊ ජනසිරිගම, හුරුලුනිකවැව ලිපිනයේ පදිංචි මෙම ශිෂ්‍යාව ඉකුත් 04 වැනිදා පාසලට තම පියා බැටරිය ආරෝපනය නොවීම හේතුවෙන් ඉවත දමා තිබූ ජංගම දුරකථනයක් වැඩිහිටියන්ට රහසේ වෙනත් බැටරියක් දමා එම දුරකතනය ක්‍රියාත්මක කරවාගෙන පාසලට රැගෙන පැමිණ ඇති බව සඳහන් වෙයි. පසුව ජංගම දුරකථනය රැගෙන පැමිණි සිසුවිය පිළිබඳ පාසලේ විදුහල්පතිවරයා දැනගැනීමෙන් පසු එම දුරකතනය විදුහල්පතිවරයා සිය භාරයට ගෙන ඇත. පසුව එම පාසලේම ඉගෙනුම ලබන එම සිසුවියගේ සහෝදරයා ගෙන්වා සොහොයුරිය විසින් පාසලට ගෙන එන ලද දුරකථනය නැවත ලබාදීම සඳහා පසුදින පියා සමඟ පැමිණෙන්නැයි අවවාද කර ඇත. එදිනම සවස් කාලයේ සිසුවියගේ සොහොයුරා සිය දෙමාපියන්ට විදුහල්පතිගේ පණිවිඩය ලබා දී ඇත. නමුත් දෙමාපියන් කිසිවක් සිසුවියට නොපවසා පසු දින පාසල වෙත යෑමට සූදානම් වන බව පමණක් දැනුම්දී ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි. නමුත් ඉන් කලබලයට හා බියට පත් වී ඇති දැරිය නිවසේ තිබූ සිය පියා ගොවිතැන් කටයුතු සඳහා භාවිත කිරීමට ගෙනැවිත් පියාගේ කාමරයේ තබා තිබූ වස වර්ගයක් පානය කර ඇත. සිසුවියට වෙන්කර තිබූ කාමරයේ දොර වසාගෙන ඇඳෙහි නිදා සිටියදී යම් කෙඳිරියක් ඇසී දෙමාපියන් විපරම් කර බලන අවස්ථාවේ ඇය වසපානය කොට ඇති බව දැක ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර පසුව එම රෝහල් වෛද්‍ය කණ්ඩායම වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ඇය මියගිය බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර සිටියේය. මේ පිළිබඳ ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. දිසානායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ ශිෂ්‍යාව සිය නිවසේ දී වස පානය කර ඇති බවයි.

මේ අතර වාර්තා වන අන්දමට ඇය යම් ප්‍රේම සම්බන්ධයක පැටලීම පිළිබඳව තම පියා විසින් මීට පෙර අවස්ථාවක අවවාද කොට ඇත. මියගිය නිපුණි සෞභාග්‍යාගේ පියා වන සමනල ගෙදර සිරිසේන රටේ සමස්ත වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන් පිළිබඳ නිරන්තරව අවධානයෙන් සිටින ලෙසත්, ජංගම දුරකථන කිසිවිටක ලබානොදෙන ලෙසත්ය. සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය සිදු කරයි.

ගලෙන්බිඳුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment