ජනක පණ බේරගන්න පාතාලයට කප්පම් දෙයි

510

උඹව මරන්න ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලැබුණා: අපි ඒක කරන්නෙ නැහැ ලක්ෂ 15ක් දී ජීවිතය බේරා ගනිං

කිරුළපන තැනකදී ලක්ෂ 15ක් ගෙවලා

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති සහ ප්‍රකට ව්‍යාපාරික ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීමට ‘බ්ලූමැන්ඩල් සංඛ’ නමැති පාතාල නායකයා මෙහෙයවන පාතාල කල්ලිය විසින් රුපියල් පහළොස් ලක්‍ෂයක කප්පම් මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා කිරුළපන පොලිසිය වෙත පෙරේදා (16දා) පැමිණිල්ලක් ද කර තිබේ.

එම පැමිණිල්ලේ සඳහන් ආකාරයට මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බ්ලූමෙන්ඩල් සංඛ නමැති පාතාල නායකයා ජනක රත්නායක මහතාගෙන් ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඔහු ඝාතනය කිරීම සඳහා වෙනත් පාර්ශ්වයක් විසින් තමන්ට රුපියල් ලක්‍ෂ 80 ක මුදලක් ලබාදීමට පොරොන්දු වී සිටින බව පවසා ඇත.

ඔහු එම ඝාතන කොන්ත්‍රාත්තුව භාර නොගත් බව පැවසූ බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 15 ක් තමන් වෙත භාරදිය යුතු බවත් බ්ලූමැන්ඩල් සංඛ යැයි කියාගත් පුද්ගලයා පැවසූ බව රත්නායක මහතා කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

ඒ අනුව තමන් එම මුදල තම සේවකයකු හරහා කප්පම් මුදල ඉල්ලූ පුද්ගලයා වෙත පෙරේදා (16 දා) යැවීමට කටයුතු කළ බවද රත්නායක මහතාගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අනුව එම මුදල කිරුළපන නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකුට භාර දී ඇති බව ද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රත්නායක මහතාට ලැබුණු දුරකථන ඇමතුම් ඔස්සේ විමර්ශන පවත්වාගෙන යයි.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ පාතාල කල්ලිය විසින් මීට පෙර ද අවස්ථා කීපයකදීම ජනක රත්නායක මහතාගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි.

කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජන් අබේවර්ධන මහතාගේ උපදෙස් මත කිරුළපන පොලිස් ස්ථානාධිපති ජනක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment