මුදල් සහ ඉදල්

1360

අවි ප්‍රදර්ශනයක් බැලීමට ගොස් අභාවයට පත් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ බිරිඳට සපුගස්කන්දේ පමුණුවිල පළාතේ ගෙයක් තිබේ. ඇය මේ ගෙය මාසයකට රුපියල් 30,000ක් බැගින් වූ කුලියකට ජෙරාඩ් නමැති පතාලකාරයකුට කුලියට දුන්නා ය. ජෙරාඩ් රස්සාවට කළේ මංකොල්ලකෑමයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය විකිණූ ඔහු කප්පම් ලබාගැනීමෙන් ද තවත් මුදලක් උපයා ගත්තේ ය. පසුගිය දිනවල දී ජෙරාඩ් කඳානේ මාළු මුදලාලි කෙනෙකුගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා සිටියේ ය. මුදලාලි කප්පම දුන්නේ නැත. මේ නිසා ජෙරාඩ් බරපතළ ලෙස කෝප විය. ඉකුත් 5 වැනිදා උදෑසන යතුරුපැදියකින් පැමිණි ජෙරාඩ්ගේ ගෝලයන් දෙදෙනෙක් මාළු මුදලාලිගේ ගෙදරට වෙඩි උණ්ඩ වැස්සක් පතිත කොට පලා ගියහ. මේ ප්‍රහාරයට සති දෙකකට පෙර ජෙරාඩ් විසින් මාළු මුදලාලිට මරණ තර්ජන ද කරන ලදි. සිය නිවසට එල්ල වූ වෙඩි වරුසාවෙන් පසු පොලිසි ගිය මාළු මුදලාලි මේ සිද්ධිය ගැන පැමිණිලි කළේ ය. මෙහිදී කඳාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ජෙරාඩ් පදිංචි, මධුෂ්ගේ නෝනාගේ නිවස වටකර ඊට වෙඩි තබා ජෙරාඩ්ගේ අවසන් කෘත්‍ය සිදුවන තැනට වැඩ කළේ ය. මෙය ඒ තරම් ලොකු සිදුවීමක් ලෙස බැලූ බැල්මට නො පෙනේ. කප්පමක් ඉල්ලීම සහ එය නොදීම නිසා ගුටි කන්නට හෝ මැරුම් කන්නට සිදුවීම ආසියාව සහ දකුණු ඇමරිකානු රටවල සාමාන්‍ය සිද්ධියකි. මෙයට අවුරුදු විස්සක පමණ සිට කොළොම්බියාව නමැති ලතින් ඇමරිකානු රටේ දැකිය හැකි ප්‍රධාන ක්‍රියාදාමයක් වූයේ පිස්තෝලයක් අතින්ගත් මිනිහෙක් තවත් මිනිහෙකු පන්නාගෙන යෑම ය. මේ රේස්එක අවසානයේදී බොහෝ විට පිස්තෝලකරු විසින් අනෙක් පුද්ගලයාට වෙඩි තබන ලදි. මේ තත්ත්වය ප්‍රමාද වී හෝ ලංකාවට පැමිණ තිබේ. අද පිස්තෝලයකින් වෙඩි තබා තරහකාරයකු මැරීම වාර්තා වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙස ය.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි නායක මන්නා රමේෂ් විසින් අවිස්සාවේල්ලේ එච්කිව්අයි ප්‍රසන්න ජයරත්න සහ ඔහුගේ පුත්‍රයාට වෙඩි තබා මරණ බව ප්‍රකාශ කර තිබේ. ඔහු අදාළ පාර්ශ්වවලට මෙම ප්‍රකාශය කළේ ඔහුගේ අපරාධ කල්ලියේ බලගතු සාමාජිකයකු වන තල්දූව මහේෂ් පොලිස් වෙඩි පහරින් මිය යෑමෙන් පසුව ය. මන්නා රමේෂ් මහා පරිමාණ කුඩු මුදලාලි කෙනෙකි. ඔහු ප්‍රධාන රැකියාව ලෙස කුඩු විකුණන අතර රත්නපුර ප්‍රදේශය අවට මැණික් ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන කරමින් කප්පම් එකතු කරයි. මෙය ඔහුගේ පාර්ට් ටයිම් රස්සාව ය. මෙම සිද්ධියේ ඇති අභව්‍යම තත්ත්වය වන්නේ මන්නා රමේෂ් මේ සියල්ලම කරන්නේ ඩුබායි රාජ්‍යයේ සිට වීම ය. මේ ආකාරයෙන් සැතපුම් දහස් ගණනක් ඈත සිට මේ රටේ මිනිසුන්ගෙන් සල්ලි සූරාකන්නට හැකි නම් මේ මිනිසුන් අතිශයින් බලවත් ජීවී විශේෂයක් බව පෙනේ.

පාතාලය යනු අලුත් සංකල්පයක් නොවේ. එය සොරකම මූලික කරගෙන මෙයට අවුරුදු දහස් ගණනකට පෙර උපන් සංකල්පයකි. මෙයට ශතවර්ෂ කීපයකට පෙර නිශ්ශංක මල්ල රජතුමාගේ ආවතේවකරුවන් ලෙස ඉන්දියාවේ පල්ලව රාජධානියෙන් මෙරටට පැමිණි පිරිස් රජු මියගිය පසු රාජ්‍ය බලය අහිමි වී නන්නත්තාර වූහ. ජීවත් වීමට මඟක් නැති වූ මේ පල්ලව සොරුන් එවකට වනගත රාජ්‍යයක්ව තිබූ මේ රටේ පාරවල් අයිනේ සැඟව සිට මිනිසුන් මංකොල්ල කෑමට පටන් ගත්හ. මෙය කණ්ඩායම් වශයෙන් කරන ලද ක්‍රියාවකි. කල් යෑමේදී මේ සොරු පල්ලව සොරුන් නොව පල් හොරු බවට පත් වූහ. අද පල් හොරු යන්න ව්‍යවහාර කරන වැඩි දෙනා තමන් මේ කියන්නේ ඉන්දියාවේ පල්ලව රාජධානියෙන් මෙරටට පැමිණි අයගෙන් පැවැත එන චෞර විශේෂයකට බව නො දනිති. පසුගිය සහශ්‍රයේ මැද භාගයේ දී ඉරාකය, ඉරානය වැනි රාජධානිවල සංවිධානාත්මක පාතාලයක් ඇති විය. මෙය ඉතාම මූලික ලක්‍ෂණවලින් සමන්විත පාතාලයක් වූ අතර කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම හෝ කප්පම් ගැනීමක් මෙහිදී සිදුවුණේ නැත. මේ පිරිස කළේ සොරකම් කිරීම ය. රාත්‍රි කාලයේ දී ධනවතුන්ගේ ගෙවල් අසලට ගිය මේ සොරු එම ගෙදරක බිත්තියෙහි ගුලක් හාරා පත්තු කරන ලද ඉටිපන්දමක් පිටේ ඇලවූ ඉබ්බෙකු පෙර කී ගුල තුළින් ගේ ඇතුළට යැවීමට පුරුදුව සිටියහ. එවිට ගෙදර ආලෝකවත් වූ අතර ගුල තුළින් බලා ගෙදර ඇති වස්තුව ගැන දළ ඇස්තමේන්තුවක් ගැනීමට මේ සොරුන්ට හැකිවිය. ලංකාවේ පවතින මුට්ටිය දැමීමේ උපක්‍රමය ඉහත සඳහන් ඉබි උපක්‍රමය සමඟ සැසඳේ. මිනිසුන් සොරකම් කිරීමට අවශ්‍ය වූ විට එහි දී ප්‍රයෝජනයට ගැනීම සඳහා විවිධ දේවල් නිපදවා ගනිති. ඕනෑම නව නිර්මාණයක මව වන්නේ අවශ්‍යතාව බවට කියමනක් තිබේ. පාතාලය යනු මංපහරන්නන් සහ මිනීමරුවන් සතුව තිබූ අවශ්‍යතාවකි. සංවිධානාත්මක ලෙස කටයුතු කිරීමටත්, අනුන්ගේ දේපළ කොල්ලකෑමටත් උපකාරී කරගත හැකි අවි ආයුධ විශාල ප්‍රමාණයක් පාතාලය විසින් අපට හඳුන්වා දී තිබේ. මේවා සියල්ලම අවශ්‍යතාවය නිසා හටගත් නිර්මාණයන් ලෙස සැලකීමට පුළුවන.

ලංකාවේ පාතාලය අතුගා දැමීම කළ හැක්කේ තුවක්කුවේ බලයෙන්ම පමණි. තුවක්කුවක් පත්තු නොවුණහොත් අපරාධකාරයන් තම මංකොල්ල ආතල්එකෙහි දිගටම නිමග්නව සිටිති. ඔවුන් අවදි වෙන්නේ එකෙකුට හරි තැනට වෙඩිල්ලක් වැදීමෙන් පසුවය. ලංකාවේ පාතාලය සම්බන්ධයෙන් තවත් පුදුම ප්‍රශ්නයක් අපට ඇත. ඒ වූ කලී මේ පාතාලය කොච්චර සංහාරය කළත් අවසන් නොවන්නේ ඇයි ද යන ප්‍රශ්නයයි. අපගේ පාතාලය අප හිතනවාට වඩා විශාලය. එමගින් වන හානිය ඉතාම දරුණු ය. පොලිසියේ වගකීම වන්නේ අපගේ දුෂ්ට පාතාලය සම්පූර්ණයෙන් අතුගා දැමීම ය. ඒ සඳහා අවශ්‍ය ඉදල් ලබාගැනීමට අවශ්‍ය මුදල් ආණ්ඩුව සොයාදිය යුතුම ය.

advertistmentadvertistment
advertistmentadvertistment