අලුත්ම අලුත් වී ඇති සිංහල අලුත් අවුරුද්ද

1320

(සමනය වෙමින් පවත්නා ජීවන අරගලය)

අන්තර්ජාලයේ තිබෙන විකිපීඩියා විශ්වකෝෂයට අනුව සිංහල අලුත් අවුරුද්ද යන යෙදුමෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවේ සිංහල ජනයාගේ ඉහළම සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයයි. විකිපීඩියා ශබ්දකෝෂයේ අර්ථ නිරූපනවලට මේ රටේ සිංහල සුද්දන් වැඩිදෙනා පක්ෂපාත වෙති. එබැවින් සිංහල අලුත් අවුරුද්ද සිංහලයාගේ ජාතික උත්සවයක් බව අප කීමෙන් ජාතිවාදය ඇවිස්සීමට අප උත්සාහ කරන බවක් නොපෙනේ. අපගේ දැනුමට අනුව ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී පවා මේ රටේ සිංහල ජනයා සංස්කෘතික උත්සවයක් පවත්වා තිබේ. එහි තේමාව වී ඇත්තේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමය. අප සිංහල අවුරුදු උත්සවය පැවැත්වූ ඒ කාලයේ ලෝකයේ ඉපැරණිම සංස්කෘතියක් වූ ඊජිප්තු සංස්කෘතිය ඉහළම තැනක පැවතුනි. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී ඒ රටේ රජ කරන ලද්දේ හතරවෙනි ටොලමි රජතුමා ය. ඔහු යටතේ ඊජිප්තුවේ විවිධ ගෝත්‍රවලට අයත් 14000 ක සෙබළ පිරිසක් ඔහු යටතේ සේවය කළහ. ක්ලියෝපැට්‍රා, ඔගස්ටස් සීසර් යනාදීන් පහළ වන්නේ අපි සිංහල අවුරුද්ද සැමරීමට පටන්ගෙන බොහෝ කාලයකට පසුය. අද කාලයේ පවත්වන සංස්කෘතික සිරිත් විරිත් බොහොමයක් එකල පැවැති සිංහල අවුරුදු උත්සවවලදී ද පැවැත්වුණු බව දැනගන්නට තිබේ. හැබැයි මන්ත්‍රීවරුන් විසින් ඡන්ද දායකයන්ට බඩු මලු බෙදීම එකල සිදුවී නැත. ඊටත් අමතරව එක පැත්තක මන්ත්‍රීගේ මූණත් අනෙක් පැත්තේ කැලන්ඩරයත් මුද්‍රණය කළ පොකට් කැලන්ඩර බෙදීමක් ද එකල තිබී නැත. එහෙත් බුලත් දීම, නොනගතය, හිස තෙල් ගෑම වැනි දේවල් ද මෙකල තිබී ඇත. සිංහල අවුරුදු උළෙල පසුකාලයේදී වඩාත් සරුසාර වූ සංස්කෘතික උත්සවයක් බවට පත්වන්නේ බුදුදහමේ ආලෝකය ද සමගයි. මෙම ජාතික සංස්කෘතික උළෙල ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පවා පවත්වන ලද්දේ අප්‍රේල් මාසයේය. එකල ග්‍රෙගරි පාප්තුමාගේ කැලන්ඩරය නොතිබූ බැවින් අප්‍රේල් මාසයක් ද නොතිබූ අතර සිංහල අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා අප අනුගමනය කළේ සිංහල කැලන්ඩරයේ එන බක් මාසය බව අප මෙහිදී සඳහන් කරමු. මේ සියල්ලටම අමතරව සිංහල අවුරුද්ද පිළිබඳ ඉතාම අරුම පුදුම ලක්ෂණයක් තිබේ. ඒ වූකලී ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පවා සිංහල අවුරුදු උත්සවය හා සමාන අලුත් අවුරුදු උත්සව දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් විශාල ගණනක පවත්වා ඇති බවය.

අපගේ වැටහීමට අනුව සිංහල අලුත් අවුරුද්ද පවත්වන්නේ අවුරුද්දේ පළමු කන්නයේ අස්වනු කපා ගෙට ගැනීමෙන් අනතුරුවය. ආසියාවේ ප්‍රදේශ බොහොමයක අලුත් අවුරුදු උත්සවය පවත්වන ලද්දේ ද අස්වනු කපා ගෙට ගැනීම මූලික කරගෙනය. අද ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්ව තිබෙන ඇසෑමය, ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ ස්වාධීන රටක් වන බංගලාදේශය, බුරුමය, අද ඉන්දියාවට අයත් නමුදු අවුරුදු දහස් ගණනකට පෙර වෙනම රටක්ව පැවැති අරුනාචල් ප්‍රදේශය, ලාඕසය, එකල වෙනම රටක්ව පැවැති නමුදු අද ඉන්දියාවට අයත්ව තිබෙන මිථිලා ප්‍රදේශය, කේරළය, නේපාලය, ඉන්දියානු ප්‍රාන්තයක් වන ඔඩීෂා, තමිල්නාඩුව, තායිලන්තය, ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට අයත් ටුලුනාඩු ප්‍රදේශය ඇතුළු තැන් ගණනාවකදීම ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී ද අලුත් අවුරුදු උත්සව පවත්වන ලද අතර එම උත්සව අදටත් එසේම පවතී. සිංහල අලුත් අවුරුද්ද සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වනු ලබන්නේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් ශ්‍රී ලංකාවේ ඇතැම් කොටස් අත්පත් කරගැනීමෙන් පසු හටගත් ජාතික මිශ්‍රණයෙන් පසුව විය යුතුය.

ජාතික උත්සවයක් යනු සංස්කෘතිය සමග ඉදිරියට යන්නකි. ලෝකය අලුත් වන විට සංස්කෘතිය ද අලුත් වෙයි. මේ මොහොතේදී ලෝකයේ සංස්කෘතීන් වැඩි හරියක් කාර්මික විප්ලවය හේතුවෙන් නවීකරණය වී තිබේ. මීට සමපාතව මෙයට අවුරුදු පනහකට පෙරත් මේ රටේ ප්‍රධාන පුපුරන ද්‍රව්‍යය වූ බීරංගය වෙනුවට රතිඤ්ඤා ආදේශ වී ඇත. උණ කොටයක් කපා කඹ වලින් වෙලා සාදනු ලබන නැවත නැවතත් පාවිච්චි කළ හැකි කාලතුවක්කුවක් හා සමාන උණ වෙඩිල්ල අද නැත. එතැනට බට්ටන් නමැති තුන් හුලස් පුපුරන ද්‍රව්‍යය ආදේශ වී තිබේ. ඉස්සර මේ රටේ ජනයා නෑගම් ගියේ බක්කි කරත්තයෙනි. බක්කි කරත්තයේ බඳින ලද හරකාට තල තලා යන මේ හිංසාකාරී ගමන අද යන්නේ කාර් එකෙන් හෝ ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් එකෙනි. එකල හැම ගෙදරකම අලුත් අවුරුදු කැවිලි පිසින ලද නමුදු අද එවැන්නක් නැත. වැඩිදෙනා අවුරුදු උත්සව නරඹන්නේ ටෙලිවිෂනයෙනි. මෙසේ වී යැයි කියා සිංහල අලුත් අවුරුද්දේ හර පද්ධතියට කිසිදු හානියක් වී නැත. හර පද්ධතිය එලෙසම පවතින අතර එයට නවීන දවටනයක් යොදා ඇත. අවුරුදු දවසේදී දුර ගම්වල පමණක් කැට ගැසීම සහ බූරුවා ගැසීම සිදුකරනු ලැබේ. මේවා සිදුවන්නේ සල්ලි ඔට්ටුවට ය. මේ බව ආරංචි වූ සැණින් එතෙනට දිවෙන පොලිස් රාළහාමිලා බූරුවා ගසන අයටත් කැට ගසන අයටත් පයින් ගසති. ඊළඟට මැවෙන්නේ මනරම් දර්ශනයකි. ඒ බූරුවා පොළේදී අත්අඩංගුවට ගත් අය එක පෙළට පා ගමනින් පොලිසියට ගෙන යාමය. මෙහිදී මුලින්ම යන්නේ බූරුවා පොළ සංවිධානය කළ මහතාය. ඔහු බූරුවා කුට්ටම දෑතින් ගෙන හිස මත තබාගෙන ගමන් කරයි. ඊළඟට එන්නේ බූරුවා ගැසූ පැදුර රෝල් කර හිසමත තබාගෙන එන මහතාය. එතැන් පටන් බූරුවා ගැසූ අයත් ඒවා ගසනු නැරඹූ අයත් එක පෙළට පොලිසිය බලා ගමන් කරති. අන්තිමට එන්නේ කසිප්පු බූලියක් ඔළුවේ තබාගත් මහතෙකි. බූරුවා පොළට කසිප්පු සහ බයිට් සප්ලයි කළේ ඔහුය.

හෙට අප පවත්වන සිංහල අවුරුද්ද 2018 න් පසු අප පවත්වන හොඳම සිංහල අවුරුද්ද වේ. 2019 මාර්තු 11 දා ශ්‍රී ලංකාවේ පළමුවන කොරෝනා රෝගියා හමුවිය. ඉන් දින කිහිපයකට පසු රට වසා දමන ලදි. 2020 ත් 2021 ත් මේ තත්ත්වය මෙලෙසම පැවතින. 2022 සිංහල අවුරුදු සැමරුම වූයේ ජන අරගලයයි. කිසිදු අරගලයක් නැතිව ජීවන අරගලය සමග පමණක් ගනුදෙනු කරමින් අපි මෙවර සිංහල අවුරුද්ද භුක්ති විඳිමු. ඔබ සැමට ජය වේවා!

advertistmentadvertistment
advertistmentadvertistment