මළ දේශපාලනය අතරේ නොමළ තෙවරප්පෙරුම

892

අප රටේ මිනිසුන්ට දේශපාලනය ද දේශපාලනඥයන් ද තිත්ත වී තිබේ. ඒ තරමටම අප රටේ දේශපාලනය පිරිහී තිබේ. ණය බරින් මිරිකුණු සාමාන්‍ය ජනතාවට එදා වේල සරිකර ගැනීමට බැරි තරමටම අප රට බංකොළොත් කළේ මේ රටේ දේශපාලනඥයන්ය. පසුගිය කාලයේදී විශාල ජන අරගලයක් ඇති වූයේත් පාර්ලිමේන්තුවේ සිටින 225 එපා යැයි මතයක් ජනගත වූයේත් මෙවන් පසුබිමකය. පාර්ලිමේන්තුවේ සිටින 225ම එපා යැයි කීව ද ඒ අතර මහත්මා දේශපාලනයක නිරත දෙතුන් දෙනෙක් සිටීමට පුළුවන. එහෙත් සමස්තයක් ලෙස රටේ දේශපාලනය නරක්වී ඇති නිසා පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක ගොඩකට දමා කතා කිරීමට ජනතාවට සිදුව ඇති බව නොරහසකි. මේ රටේ දේශපාලනයේ පවතින මෙම කටුක යථාර්ථය තේරුම් නොගෙන ඉදිරියේදී හෝ රට වෙනස් කළ නොහැකි බව අප සියලු දෙනා තේරුම් ගත යුතුව ඇත.

කාලයක් අප රටේ මහත්වරුන් දේශපාලනයට පැමිණි කාලයක් තිබිණි. ඔවුන්ගේ පරමාර්ථය වූයේ ජනතා සේවයට කැපවීම පමණි. එවැනි සමහර දේශපාලනඥයින් තමන්ගේ තිබෙන දේපළ ද ධනය ද ජනතාව වෙනුවෙන් කැප කළ දුර්ලභ අවස්ථා අප ඉතිහාසයේ තිබේ. එහෙත් පසුගිය කාලයේදී අප රටේ දේශපාලනය රස්සාවක් කරගත් පිරිසක් මේ රට කොල්ල කෑවේය. ජනතාව හිඟමනට වැටෙද්දී දේශපාලනඥයන් හැම අතින්ම තර විය. පගාවට, ජරාවට, කොමිස්වලට යටවූ දේශපාලනඥයෝ විවිධ ව්‍යාපෘතිවලින් පමණක් නොව හදන පාරෙන් බෝක්කුවෙන් පවා ගසා කෑමට පුරුදු වූහ. මෙම මජර දේශපාලනය වෙනස් කළ යුතු කාලය පැමිණ තිබේ. ජනතාවට රටට ආදරය කරන සැබෑ මිනිසුන් මෙම දේශපාලනයේ අයිතිකරුවන් විය යුතුය. වැටුණු රට ගොඩගත හැක්කේ එවන් ජනතා මාමක, දේශප්‍රේමි දේශපාලනඥයන්ට පමණි.

හිටපු කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි අනතුරකින් මියයන්නේ අප ඉහතින් සඳහන් කළ දේශපාලනය අප රටේ පැලපදියම් වී තිබෙන අවදියකදීය. බොහෝ දේශපාලනඥයන් මියගිය පසුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අප රටේ ජනතාව කතාකරනුයේ එතරම් පැහැදීමකින් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පාලිත තෙවරප්පෙරුම නම් දේශපාලනඥයා මියගිය පසුව අප රටේ දේශපාලනයේ අලුත් කතාබහක් ඇතිවී තිබේ. ෆේස් බුක් එකේ දිග හැරුණු එකම පෝස්ටුවකින්වත් ඔහුගේ නරකක් කිවූ අයකු අප දුටුවේ නැත. බොහෝ දෙනා ඔහුගේ ගුණ වයනු දක්නට ලැබේ. කාලයකින් දේශපාලනඥයකුට නොලැබුණු ජනප්‍රසාදයක් ඔහුට හිමිව ඇත. අප නම් විශ්වාස කරන්නේ පාලිත තෙවරප්පෙරුම අද අප අතර නැති වුණත් ඔහු විසින් මේ නෙළාගනු ලබන්නේ ඔහු විසින් වැපිරූ අස්වනුවල යහපත් ඵලය.

වරක් තෙවරප්පෙරුම පාසල් අහිමිවූ දරුවන් නවදෙනකු වෙනුවෙන් සියදිවි නසා ගැනීමට තැත් කළේය. අවසානයේදී එම දරුවන්ට පාසල් ලැබිණි. කොරෝනා සමයේදී අටලුගම ලොක්ඩවුන් කෙරිණි. එම අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාවට ආහාර හිඟයක් ඇති විය. ඔහු එම ප්‍රදේශයේ ජනතාවට ආහාර බෙදුවේය. ඔහුගේ මනුස්සකමේ දේශපාලනය අවබෝධ කර ගැනීමට ද මෙම කාරණා පමණක් වුවද ප්‍රමාණවත්ය. ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වූ අවස්ථාවේ ක්‍රියා කළේ ද ඉතාමත් ආදර්ශවත් අයුරිනි. නිලධාරීන් පුටු රත් කරද්දී තෙවරප්පෙරුම කැත්ත උදැල්ල ගෙන වැඩට බැස්සේය. දේශපාලනඥයා නිලධාරීන්ට ඉදිරියෙන් සිටිය යුතු බව ඔහු බොහෝ අවස්ථාවලදී ඔප්පු කර තිබේ.

තෙවරප්පෙරුමගේ ජීවිතයේ වඩා සාධනීය ලක්‍ෂණය වන්නේ ඔහුට මේ ජීවිතය පිළිබඳ තිබූ අවබෝධයයි. බොහෝ දේශපාලනඥයන් නොමැරෙන මිනිසුන්සේ ජනතාවගේ දේපළ කොල්ල කද්දී ඔහු ජනතාව වෙනුවෙන් තමන්ට හැකි පමණින් උදව් කළේය. ඔහු මියයන්නට පෙර තමන්ගේ අවසන් ගමනට සූදානම් වූ අයෙකි. ඒ සඳහා සියල්ල සූදානම් කළ ඔහු තමාගේ දේහය මිහිදන් කිරීමට සොහොන් ගැබද කලින්ම සාදා නිම කර තිබිණි. කෙතරම් වස්තුව දේපළ රැස් කළ ද තමන් කවදා හෝ මියයන බව සිහිපත් කිරීමට හැක්කේ ශක්තිමත් මනසක් ඇති මිනිසුන්ට පමණි. අනෙක් අතට තමන් කවදා හෝ මියයන බව තේරුම් ගන්නේ නම් බොහෝ අය වැරදි කරන්නේ නැත. අප රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බවට තෙවරප්පෙරුම අපට කියාදී ඇති පාඩමයි. විශේෂයෙන් අප රටේ නොමැරෙනවා යැයි සිතා ක්‍රියාකරන දේශපාලනඥයන්ට ඔහුගේ චරිතයෙන් උගත හැකි පාඩම් බොහෝය.

advertistmentadvertistment
advertistmentadvertistment