දේශපාලන හෙළුව හෙළිවූ සංවාදය

886

දේශපාලනය කළ යුත්තේ මහත්වරුන්ය. දේශපාලනය හුදු ලාබ ලබන ව්‍යාපාරයක් නොකර ජනතා සේවය පිණිසම කැපවිය යුතුය. දේශපාලනයේ එවන් සුන්දර අතීතයක් අප රටේද තිබිණි. ඒ 60 වැනි දශකයේත් 70 දශකයේත් මුල් භාගයේය. පක්‍ෂ විපක්‍ෂ දෙගොල්ලෝම දේශපාලනය කළත් ගහමරා ගත්තේ නැත.

වරෙක අප රටේ ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයට පත්විය. එම අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයා වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. තවත් වරෙක අගමැතිනිය වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එම අවස්ථාවේදී විපක්‍ෂ නායක ධුරය දැරුවේ ඩඩ්ලි සේනානායක මහතායි. ඇතැම් අවස්ථාවලදී මෙම දෙපළ එකම වේදිකාවක සිට එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් පළ කළහ. එහෙත් ඒ කිසිම අවස්ථාවක එම අදහස් දැක්වීම් ගැටුමක් දක්වා දුරදිග ගියේ නැත. සිනාමුසු මුහුණින් සංයමයකින් දැක්වූ ප්‍රතිචාරයද දේශපාලනයේ ශිෂ්ටත්වය කැපී පෙනුණි.

අයවැය විවේචනය කරමින් පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට වස් කවියක් කියවනු ලැබුවේ එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සෝමවීර චන්ද්‍රසිරියන්ය. ඒ සියල්ල අයිති වනුයේ මෙරට දේශපාලන ඉතිහාසයේ රමණීය අද්දැකීම් ලෙසිනි. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්. ඩබ්ලිව්. ඩී. ආර්. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන යුගවලදී අප රටේ දේශපාලනයේ මහත්මා ගුණ ප්‍රකට කළ අවදීන් විය. ඔවුන්ගේ කාලයේදී දේශපාලනය පිළිබඳ විවිධ වාද විවාද විවේචන අදහස් දැක්වීම් සිදුවිය. නමුත් ඒ සියල්ල තුළ එම දේශපාලනඥයන්ගේ නායකත්වයේ විශිෂ්ටත්වය කැපී පෙනුණි. දේශපාලනයේදී කොතරම් හික්මීමෙන් ශික්‍ෂණයෙන් වැඩ කළ හැකි දැයි මොවුන්ගෙන් උගත හැකි පාඩම් බොහෝය.

අපට හදිසියේ මෙවැනි කතාවක් ලිවීමට සිදුවූයේ පෙරේදා (25 වැනිදා) රාත්‍රියේදී එක්තරා රූපවාහිනි නාළිකාවක විකාශනය වූ දේශපාලන සංවාදයකදී මෙරට දේශපාලන පක්‍ෂ කීපයක නියෝජිතයෝ හැසිරුණු ආකාරය දුටුවිටය. එය තනිකරම වළං කඩයට පැන්න කකුල් හතරේ අයගේ ක්‍රියාවලියට සමාන විය. අනෙකාගේ දේශපාලන මතයට ඇහුම්කන් දී ප්‍රතිතර්ක ඔස්සේ දේශපාලන සංවාදය ඉදිරියට ගෙන යෑමට හැකිව තිබියදී ඔවුන් හැසිරුණේ කෙතරම් පහත් අයුරින්ද යන්න ප්‍රේක්ෂකයෝ සාක්‍ෂිකරුවන්ය. විවාදය මෙහෙයවූ අයට පවා එය පාලනය කර ගැනීමට නොහැකි තරමට එහි දුටුවේ මුග්ධ ස්වභාවයකි. හන්දියේ කඩ පිළේ දේශපාලන සංවාද කර ගන්නා බණ්ඩ මාමලා, උක්කුංලා, සිරිසේනලාවත් මෙහෙම හැසිරෙන්නේ නැත. ඔවුන්ගේ දේශපාලන සංවාද මීට වඩා යහපත්ය. එක අතකින් මෙම අය මෙම සංවාදයට ගෙනඒමේ හොඳක් ලෙස අපි දකිමු. මන්ද ඔවුන්ගේ හෙළුව මෙම සංවාදයේදී රටටම හෙළිවූ බැවිනි.

ඉදිරියට එළඹෙනුයේ මැතිවරණ වකවානුවකි. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. කල්දැමුණු පළාත් පාලන ඡන්දය ද කෙදිනක හෝ පැවැත්වීමට සිදුවනු ඇත. අදාළ මැතිවරණවලදී ඡන්දය ඉල්ලන නියෝජිතයෝ ජනතාවගේ දෙපා මුළට විත් තමන්ට ඡන්දය දෙන්නැයි ආයාචනා කරනු ඇත. ඡන්ද දායකයාට නැතහොත් ජනතාවට තමන්ගේ බලය පෙන්වීමට ඇති එකම අවස්ථාවත් මෙයයි. විවිධ දේශපාලන වෙස්ගත් හොරුන්, මැරයන්, චන්ඩින් ද මේ අතරේ ඡන්දදායකයා ළඟට එනු ඇත. මේ අය අම්මේ, තාත්තේ, නැද්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, දුවේ, පුතේ කියමින් චාටු බස් දෙඩීමට දක්‍ෂය ය. මෙම තත්ත්වය හොඳින් තේරුම් අරගෙන තමන්ගේ කතිරය ගැසිය යුත්තේ කාටදැයි ඡන්දදායකයින් තේරුම් ගත යුතුය. හොරුන්, චණ්ඩින්, තක්කඩින් මගහැර මහත්වරුන් දේශපාලනයට එවීමේ වගකීමක් ජනතාවටද තිබේ. කොයි පක්‍ෂයෙන් කුමන පාටින් ආවද හරිම ජනතා නියෝජිතයෝ තෝරා නොගත්තොත් අවසානයේදී පරාජය වනුයේ ඡන්දදායකයාය. රටය. මෙම රටට ආදරය කරන, ජනතාවගේ දුක හඳුනන, මනා හික්මීමක්, ශික්‍ෂණයක් ඇති යහපත් පුද්ගලයන් තමන්ගේ මහජන නියෝජිතයන් ලෙස පත් කර ගැනීමට ජනතාව වග බලාගත යුතුය. පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ගසන, මයික්‍රොෆෝන කඩන, බලයට ආ දා සිට මහජනතාවගේ දේපළ සොරා කන එවුන් මහජන නියෝජිතයන් බවට පත් නොකිරීම ජනතාවගේ වගකීමකි. සමහර අවස්ථාවලදී මොවුන් හැසිරෙනුයේ අහිංසකයන් ලෙසිනි. මහත්වරුන් ලෙසිනි. මේ කුමන චරිත නිරූපණය කළත් හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේම යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට ඡන්දදායකයා බුද්ධිමත් විය යුතුය. එවැනි අය තෝරා ගැනීම සඳහා විමසිල්ලෙන් සිටින්නැයි අපි ජනතාවගෙන් ඉල්ලමු. අද අපේ කතුවැකියට පාදක වූ ඉහත සඳහන් කළ දේශපාලන සංවාදය වැනි තවත් සංවාදවලදී දේශපාලනයට නුසුදුසු අය හඳුනා ගත හැකි බව ජනතාවට මතක් කරදෙනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment