කුහක දේශපාලනේ මට අපහාස කළත් සත්‍ය ජය ගෙන මගේ නිවැරදි බව ඔප්පු වෙනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

58

තමා කියූ කිසි දෙයක් මේ වනතුරු වැරදී නොමැති බවත්, 2019 පැරදුනත් කාන්තා සනීපාරක්ෂාව ගැන 2020, 2021, 2022 සහ 2023 කියූ බවත් ඒ නිසා 2024 සිට එනම් වසර පහකට පසු මැතිවරණ වසරේ රජයේ අවධානය මේ වෙනුවෙන් යොමු වී පාසල්වල තේරාගත් දැරියන්ට මෙම පහසුකම් ලබාදීමට තීරණය කර ඇති බවත් දේශපාලන ඊර්ෂ්‍යාව කේන්ද්‍ර කරගෙන මැතිවරණ වසරක පමණක් එය ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

මේ ජරාජීර්ණ වූ මජර දේශපාලන සංස්කෘතිය නිසා වැදගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පමා වූ බැවින්, දැන්වත් මේ ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියෙන් බැහැරව කටයුතු කළ යුතු බවත් පසුගියදා පාර්ලිමේන්තුවේ දී විදේශිකයන්ගෙන් අය කරන විසා අරමුදල් වැඩි කිරීම ගැන හඬ නැඟූ බවත් එහිදී විසා බලපත්‍ර ලබාදීමේ ක්‍රමයේ වෙනස තුළින් සිදුවන අගතිය ගැන පසුගිය සතියේ පෙන්වා දුන් බවත්, එහිදී රජයේ එහෙයියෝ කොට්ඨාසයක් දේශපාලන වාසි තකා තමාගේ ප්‍රකාශය වැරදි බවට කිව්වත් පසුගිය දිනෙක තමා අනාවරණය කළ දේ යථාර්ථයක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා කියූ දේ ඇසුවා නම් එම ගැටලු මඟහරවා ගත යුතුව තිබුණත් දේශපාලන කුහකකම නිසා එය සිදු නොකළ බවත්, මේ වනවිට ඔවුන් ගෙන ආ නීතිය ඔවුන්ම අත්හිටුවීමට කටයුතු කරන බවත් මේ ආකාරයටම මුව ආවරණ ගැන, කොවිඩ් බෙහෙත් ගැන, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ගැන ආදී හොඳ යෝජනා ඉදිරිපත් කරන විට පහර ගැසුවත් අවසානයේ සත්‍ය ජය ගත් බවත් අද වනවිට තමා කියපු බොහෝ දේවල් නිවැරදි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 171 වැනි අදියර යටතේ ගම්පහ දොම්පේ දංගල්ල ධර්මරාජ මහා විiාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබාගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

දේශපාලන දෘෂ්ටිකෝණයකින් නොව සත්‍ය, දත්ත, යථාර්ථය අවබෝධ කරගෙන සියලු කතා පැවසූ බවත් තමා කිසිම විටෙක කයිය නායකයකු වීමට සූදානමක් නොමැති බවත්, කියන දේ කරන කරන දේ කියන නායකයෙක් වීමට තමා කටයුතු කරන බවත් රටට අවශ්‍ය කයිය නායකයකු නොව වැඩ කරන නායකයකු බවත් ජනතාව එය අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

“සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වනවිට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස්රථ වැඩසටහන යටතේ පාසල් 87ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස්රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක්ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 171ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1879ක් ද වැය කර තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, මහර සජබ ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර සජබ බියගම ප්‍රධාන සංවිධායක යු. ජෝර්ජ් පෙරේරා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
පූගොඩ – සරණපාල නුවරපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment