ප්‍රේම සම්බන්ධයක් නිසා 10 ශ්‍රේණියේ සිසුවකුගෙන් 09 ශ්‍රේණියේ සිසුවකුට පිහි පහරක්

373

පහර කෑ සිසුවා රෝහලේ

ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් වේයන්ගොඩ මාරපොළ මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විසින් එම පාසලේ 09 ශ්‍රේණියේ සිසුවකුට එල්ල කළ පිහි පහරකින් තුවාල ලබා එම සිසුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු පුවතක් වේයන්ගොඩ පොලිසියෙන් වාර්තාවේ.

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා එම පන්තියේම සිසුවියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර පාසලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහර කෑමට ලක් වූ සිසුවා ද එම සිසුවිය සමග පෙම් සබඳතාවයක්

ගොඩනගාගෙන ඇත. මේ පිළිබඳව දැනගත් 10 ශ්‍රේණියේ සිසුවා ඉකුත් (03දා) පාසල තුළදී සහ පාසල නිමවීමෙන් අනතුරුව පාසල ඉදිරිපිට දී ද 09 ශ්‍රේණියේ සිසුවාට පහර දීමක් සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවිණි. පහර කෑ සිසුවා පසුව නිවසට ගොස් නැවත එදින (03දා) පස්වරුවේ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී 10 ශ්‍රේණියේ සිසුවා ඔහුගේ පන්තියේම තවත් සිසුන් පිරිසක් සමග පැමිණ නැවත 09 ශ්‍රේණියේ සිසුවාට පහරදීමක් සිදුකර ඇත. එම අවස්ථාවේ 10 ශ්‍රේණියේ සිසුවාගේ මිතුරකු විසින් 09 ශ්‍රේණියේ සිසුවාට පිහියකින් පහර දී ඇත.

පිහි පහරින් උරහිස ප්‍රදේශයට තුවාල සිදුවූ 09 ශ්‍රේණියේ සිසුවා පසුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.

රෝහල් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධ වේයන්ගොඩ පොලිසියට කළ දැනුම් දීමකට අනුව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කෙරිණි.

සිද්ධියට අදාළ 10 ශ්‍රේණියේ සිසුවා සහ පිහි පහර එල්ල කළ එම සිසුවාගේ මිතුරා නිවෙස් වලින් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකව පවතී.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment