සහාය දිවීමේ රන්-රිදී දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැමිණෙති

85

තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මීටර් 400 X 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත්, මිශ්‍ර මීටර් 400 X 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා පෙරේදා (22 වැනිදා) දින දිවයින වෙත පැමිණියහ.

එහිදී මීටර් 400 x 4 සහාය දිවීමේ තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කාලිංග කුමාර, අරුණ දර්ශන, පසිදු කොඩිකාර සහ දිනුක දේශාන් ක්‍රීඩකයින් විශිෂ්ට දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.

එසේම මීටර් 400 x 4 මිශ්‍ර සහාය ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ අරුණ දර්ශන, පසිදු කොඩිකාර, සයුරි මෙන්ඩිස් සහ නදීශා රාමනායක එම තරගයෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.

මීට අමතරව මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා මීටර් 100 x 4 පිරිමි කණ්ඩායම සහ මීටර් 100 x 4 කාන්තා කණ්ඩායම සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 20 දින සිට 22 දින දක්වා පැවැත්විණි.

එම ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පෙරේදා තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී. – 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා යුද හමුදා සහ නාවික හමුදා නිලධාරීහු පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment