අයිතිය වෙනස් වුණත් දඹුල්ලේ එල්.පී.එල්. තිබෙයි තණතිල්ලේ

160

තරග පාවාදීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා එම කණ්ඩායමට නව හිමිකරුවෙකු තෝරා ගෙන පෙර සැළසුම් කළ පරිදි එල්පීඑල් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම නව හිමිකාරීත්වයක් යටතට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බවත් එල්පීඑල් තරගාවලියේ සංවිධායකයන් වන අයි.පී.ජී. සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ පුද්ගලයකු තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෙරේදා (22 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඔහු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් සමඟින් පැවැති ගිවිසුම අවලංගු කිරීමට තරගාවලියේ සංවිධායකයෝ කටයුතු කළහ.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම නව හිමිකරුවෙකු යටතේ තරගාවලියට එක්වෙන බවත් මින් පෙර සැලසුම් කර පරිදි කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් මෙවර ද එල්.පී.එල්. තරගාවලිය පැවැත්වෙනු ඇති බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම තරග කාලසටහනට අනුව මෙවර එල්.පී.එල්. තරගාවලිය එළැඹෙන ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

දඹුල්ල කණ්ඩායමේ නව හිමිකාරීත්වය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සමඟින් අයි.පී.ජී. සමාගම සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ.

කරීම් ජනට්, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, නුවනිඳු ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, දිල්ෂාන් මධුසංක, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, මුෂ්ටෆිසුර් රෙහෙමාන්, ඊබ්‍රාහිම් සද්රාන්, හස්රතුල්ලා සාසායි, ඉෆ්ටිකාර් අහමඞ්, හයිඩර් අලි සහ අසේල ගුණරත්න යන ක්‍රීඩකයෝ දඹුල්ල කණ්ඩායමට අයත් වෙති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment