තර්ජනයට ලක්වූ පතන් අල තවත් තැනකින් හමුවේ

2491

පතන් අල (Ceropegia lankana) ශ්‍රී ලංකාව ට සුවිශේෂී ශාක විශේෂයක් වන්නේ එය දුර්ලභ නිසාම නොවේ.තර්ජනයට ලක්වූ පතන් අල තවත් තැනකින් හමුවේ

උත්කර්ෂවත් නකල්ස් කුළු කඳු සමූහය (Knuckles massif) සතු අද්විතීය ලක්ෂණ මනාව ප්‍රකට කරන්නට එය හේතුවක් වීමද නිසාවෙනි.

තර්ජනයට ලක්වූ පතන් අල තවත් තැනකින් හමුවේ

ලොව ජෛව විවිධත්වයෙන් උණුසුම් ස්ථාන (biodiversity hotspots) කිහිපය අතර ශ්‍රී ලංකාව තබන්නට නකල්ස් හි සාරවත් ජෛව විවිධත්වය සුවිශාල දායකත්වයක් සපයයි.

සාපේක්ෂව ඉතා කුඩා වපසරියක ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ප්‍රධාන වෘක්ෂලතා දර්ශ රැසක්ම හමුවීම මේ ප්‍රදේශය සතු සුවිශේෂත්වයකි.

කඳුකර, උප කඳුකර, තෙත් සදාහරිත, අර්ධ සදාහරිත, වියළි හා ශුෂ්කරූපී, ගංගාශ්‍රිත, වගුරු, පිටාර තැනි සහ පතන තණබිම් ඒ අතර වේ. මේ වාසභූමි විවිධත්වය (habitat diversity) අධික වීම නිසාම මෙම ප්‍රදේශය අතිශය සංවේදී පරිසර කලාපයක් වන්නේ ඉතා සුළු හානියකින් වුවද විශාල බිඳවැටීමකට ලක්විය හැකි නිසාය.

නකල්ස් හි පතන් බිම් ඊටම ආවේණික ස්වභාවයක් ගන්නේ ඒවා ශ්‍රී ලංකාවේ කඳුකරයේ හමුවන තෙත් සහ වියළි පතන්වලට වඩා වෙනස් වූ අතරමැදි තත්ත්වයක පවතින නිසාය. පාෂාණ ස්ථරයක් මත ඇතිරුණු තුනී පස් තට්ටුවක මෙය නිර්මාණය වී ඇත.

නකල්ස් හි පිටවලපතනින් සොයාගනු ලැබූ පතන් අල, ශ්‍රී ලංකාවෙන් හමුවූ අලුත් ශාක විශේෂයක් ලෙස මුලින්ම ප්‍රකාශයට පත් වුණේ 1974 වසරේදීය. ප්‍රවීණ උද්භිද විද්‍යාඥයන් දෙපළක් වන මහාචාර්ය එම්. ඩී. දසනායක සහ ආචාර්ය මැග්ඩන් ජයසූරිය මහත්වරුන් විසින් මෙය සොයා ගනු ලැබ එළිදැක්විණි.

මුලින් Brachystelma lankanum ලෙස නම් කෙරුණු මෙය පසුව Apocynaceae කුලයට අයත් Ceropegia lankana ලෙස වෙනස් විය.

පතන් අල, පිටවලපතන අවට ප්‍රදේශවල ගම්වාසීන් කලකට පෙර ආහාරයට ගත් බව කියැවේ. එමෙන්ම එය ඖෂධීය ගුණයන්ගෙන්ද සමන්විතය. ඉන්දියාව සහ අප්‍රිකානු රටවල මෙම Ceropegia ගණයේ අල වර්ග අමුවෙන් සහ වෑංජනයක් ලෙස ආහාරයට ගනු ලබයි.

CR – Critically Endangered තත්ත්වය යටතේ ජාතික රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වුණු මෙය ඉතා දුර්ලභ හා දැඩි ලෙස තර්ජනයට ලක්වූ ශාක විශේෂයකි.

එක් සීමිත භූමි ප්‍රදේශයකට පමණක්ම ආවේණික (point endemic) ශාක විශේෂයක් ලෙස ගැනෙන පතන් අල හමුවන එකම ස්ථානය පිටවලපතනයි. එබැවින් එය මුළු ලොවටම දැකිය හැක්කේ පිටවලපතනෙහි පමණි.

තර්ජනයට ලක්වූ පතන් අල තවත් තැනකින් හමුවේ

පසුගිය දා නකල්ස් කලාපයේ වෙනත් පතන් ප්‍රදේශයක අප සිදු කළ ගවේෂණයකදී පතන් අල සොයාගන්නට ලැබීම අතිශයින් වැදගත් වනු ඇත. නකල්ස් කුළු කඳු සමූහයේ නැගෙනහිරට වන්නට ඇති ලකේගල සමීපයේ මෙම කුඩා පතන පිහිටයි.

මීට පෙර, නකල්ස් කලුපහන ප්‍රදේශයේ රෑන කෙටූ පතනින්ද (රාවණා කේතු පතන) පතන් අල සොයා ගැනීමට අපට හැකි විය.

නකල්ස් පතන් බිම් වල ඇති අද්විතීය පාරිසරික ලක්ෂණ, පතන් අල වැනි එම ප්‍රදේශයට පමණක් සීමා වුණු ජීවී විශේෂ බිහිවීම සඳහා හේතු සාධක සපයයි.

එවන් ජීවීන් පරිසර පද්ධතිය තුළ විවිධ අන්තර් ක්‍රියා ඔස්සේ සිදු කරනු ලබන කාර්ය භාරය අති මහත්ය.

තර්ජනයට ලක්වූ පතන් අල තවත් තැනකින් හමුවේ

සමහරවිට එය පරිසර පද්ධතියෙහි පැවැත්ම තීරණය කරන “මුරගල්” විශේෂයක්ද (key stone species) විය හැකියි.

අපගේ අනාගත අභිවෘද්ධිය සඳහා යොදාගත හැකි, තවමත් ඇගයීමකට ලක් නොවුණු මේ ජෛව සම්පත් රටට බොහෝ වැඩදායක වනු ඇත.

ජාන සම්භාර සංරක්ෂණය (gene pool conservation) වැදගත් වන්නේ මේ නිසාවෙනි. අපගේ ස්වාභාවික ජාන බැංකු නැතහොත් වනබිම් කොතෙක් දුරට ඒ කාර්යය සිදු කරයිද යන්න ප්‍රශ්නාර්ථයකි.

● සටහන කුමදු අමරසිංහ

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment