ඇල්ලේ හිමිගෙන් රනිල්ට ස්තූතියක්… සමග අභියෝගයක්!

564

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද උණුසුම රැඳි තවත් සතියක් ගෙවී ගියේය. දේශපාලන පක්ෂ මොනතරම් සූදානම් වුවත් එළැඹෙන මාර්තු නම වැනි දා පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා වගකිව යුතු කිසිදු ආයතනයක කිසිදු සූදානමක් පෙනෙන්නට තිබුණේ නැත. මැතිවරණ කොමිෂන් සභාව හෝ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මේ ප්‍රශ්නය ඉදිරියේ බරපතළ අභියෝගයකට ලක්වෙමින් හිටියත් ඔවුන්ට ඒ සඳහා කිසිදු උත්තරයක් තිබුණේද නැත. ඊට ද හේතු ගණනාවකි.

නියමිත දිනට මැතිවරණය පවත්වන්නට නම් රජය ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දිය යුතුය. මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නට නම් ඒ සඳහා රජයට ඇති තරම් මුදල් ප්‍රතිපාදන තිබිය යුතුය. රජය ඒ සඳහා මුදල් ලබා නොදුන්නා පමණක් නොව, මැතිවරණය සම්බන්ධ කිසිදු රාජකාරියක් හෝ සේවාවක් ගෙවීමේ (ණය) පදනම මත නොකරන්නැයි කියා චක්‍රලේඛයක් ද නිකුත් කළේය. එබැවින් මැතිවරණ කොමිසමට කිසිවක් කර කියාගත නොහැකි විය. අවසානයේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි කියා රජයට නියෝගයක් දෙන ලෙස දේශපාලන පක්ෂවලට හා විවිධ ස්වාධීන ආයතනවලට අධිකරණයේ පිහිට පතන්නට ද සිදු විය….

මේ මුදල් ඇති නැති අලකලංචිය අතරේ කාලය ගෙවී ගියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන හා ජාතික බලවේග මේ මැතිවරණ ප්‍රශ්නය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාට හා ඔහුගේ ආණ්ඩුවට බරපතළ අභියෝග හා විවේචන එල්ල කරනා පසුබිම තුළය.

“විපක්ෂය ඡන්දයක් ඉල්ලුවාට ඡන්දයක් කරන්න නම් සල්ලි තියෙන්න ඕන… මේ වෙලාවේ කොයින්ද මුදල්…” ජනාධිපතිවරයාගේ උත්තරය එබඳු රළු පරළු එකක් විය.

මේ ආකාරයට රටේ ප්‍රධාන දේශපාලන දහරාවේ ක්‍රියාන්විතය මැතිවරණය ගැන වුවත් රටේ පොදු ජනතාවගේ ක්‍රියාන්විතය ඉලක්ක වී තිබුණේ ජීවත් වීම නමැති අභියෝගය වෙතය. කිසිදු පාලනයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, භාණ්ඩ හා සේවාවන් මිල ඉහළ දමමින් තිබෙන පරිසරයක රජයත් විදුලි බිල වතුර බිල ඉන්ධන මිල ගෑස් මිල වැඩි කරමින් ජනතාවගේ ගෙල සිරකිරීම සමාජයට ඔරොත්තු නොදෙන තත්ත්වයකට වර්ධනය වී තිබිණි.

ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ ජනතාවට අවශ්‍ය වී තිබුණේ ඡන්දයක් නොව, ජීවත් වන්නට සරිලන තරමේ සහනයක්ය. රජය එම සහනය ලබාදීම හමුවේ බරපතළ අභියෝගයකට ලක්ව සිටියේය. රටේ එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් විය. මුදල් මුද්‍රණය කිරීම ලෝක බැංකු නිර්දේශ මත තහනම් කාරණාවකි. එකම විකල්පය වූයේ මහජනතාවගෙන් මුදල් උපයා ගැනීමය. බදු අය කිරීම හා බිල් වැඩි කිරීම හැර වෙනත් විකල්ප ආණ්ඩුවට නොමැති විය.

මේ සියල්ල හමුවේ ජනතාවගේ පීඩනය දවසින් දවස වැඩිවන්නට පටන් ගෙන තිබිණි. රට තුළ ජනතාවට මේ මොන ප්‍රශ්න බලපා තිබුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම සුපුරුදු විවේකී නිදහස් චර්යාව අත්හළේ වත් අමතක කළේවත් නැත. කොටින්ම කිවහොත් ඔහු මේ කිසිදු ප්‍රශ්නයක් බරපතළ ලෙස ඇඟට ගත්තේ නැත. සියල්ල දෙස සැහැල්ලුවෙන් හා උපේක්ෂාවෙන් බලන අයුරු පැහැදිලි විය.

පහුගිය සති අන්තයේ ඔහු මහනුවර බලා පිටත්ව ගියේය. එම ගමනේ එක්තරා අරමුණක් වූයේ කලකට පසු මහනුවර පැවති ජනරජ පෙරහැර නැරඹීමයි. ගොඩක්ම වැදගත් අරමුණ වූයේ මල්වතු – අස්ගිරි මහා විහාරවල කාරක සංඝ සභාවන් මුණගැසී රටේ වත්මන් ආගමික ශාසනික හා සමාජ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඉරු දින මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්විණි.

සුහද හමුවක් ලෙස පැවති මේ සාකච්ඡාවේ දී මුලින්ම අවධානය යොමු කෙරුණේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලවල පවතින වර්තමාන ගැටලු සම්බන්ධවයි. තරුණ භික්ෂුවගේ ක්‍රියාකාරීත්වය හා දේශපාලනය සම්බන්ධයෙන් ද කරුණු රැසක් මෙම සාකච්ඡාවට අදාළ වූහ. වර්තමානයේදී භික්ෂුව මුහුණදෙන ගැටලු හා අභියෝග ගැන ද මෙහිදී කරුණු හුවමාරු වූහ. ජනාධිපතිවරයා ජනරජ පෙරහැර නැරඹුවේ ජනතාව අතර සිටය. ආරක්ෂාව පිළිබඳ ඔහු එතරම් සැලකිල්ලක් දක්වා තිබුණේ නැත. පෙරහැරට සම්බන්ධ පාර්ශ්වයන් පැමිණ ජනාධිපතිවරයාට ස්තුති කළේ මෙම අවස්ථාවේ ජනරජ පෙරහැර පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධවයි.

“සර් මේ වෙලාවේ මේ පෙරහැර නැවත පටන් ගැනීමම මේ පෙරහැර සංස්කෘතියට සම්බන්ධ මාලිගාව එක්ක බැඳිලා ඉන්න පරම්පරාවන්වලට කරපු ගෞරවයක්..” මහනුවර නගරාධිපති කේසර සේනානායක කීවේය.

● වෙස් නැට්ටුවෙක් ජනපති පදවියට…

ජනරජ පෙරහැරේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන එහිදී කතාබහක් ඇති විය. ජනාධිපති රනිල් උඩරැටියකු නොවේ. එහෙත් උඩරට පළාතේ තිබෙන සංස්කෘතිය හා සම්ප්‍රදායන් ගරු කරමින් පෙරහැර සංස්කෘතිය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඔහු තුළ වූ උනන්දුව හා දැනුම පිළිබඳ එහිදී උඩරට ප්‍රභූවරු පවා පුදුමයට පත් වූහ. වෙස් නැටුම් ගැන රනිල් කළ විස්තරය සමහරු අසා සිටියේ දෑස් විසල් කරගෙනය. එම අවස්ථාවේ බන්දුල ගුණවර්ධන ද එතන සිටියේය. ජනාධිපතිවරයා බඳුන දෙස බලමින් මෙසේ ඇසීය….

“සමහරු බලාවි මං කොහොමද වෙස් නැටුම් ගැන මෙච්චර විස්තර දන්නෙ කියලා… බන්දුල දන්නවද..? අද ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නෙත් වෙස් නැට්ටුවෙක් කියලා..”

බන්දුලට ද පරණ තොරතුරු මතක් වූයේ එවිටය…

“ඒක තමයි… මම අහලා තියෙනවා ඔබතුමා ශ්‍රී ජයනා ගුරුන්නාන්සේගෙන් වෙස් නැටුම් ඉගෙන ගත්ත බව..”

“මම විතරක් නෙවෙයි… එතුමාගෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියත් වෙස් නැටුම් ඉගෙන ගෙන තියෙනවා…” ජනාධිපති රනිල් ඒ සමග අතීත කතා ගණනාවක් කියමින් රැස්ව සිටි ප්‍රභූවරුන් සමග බොහෝ වේලාවක් යනතුරු ඉතා සුහදව කතාබස් කරමින් සිටියේය.

කෙසේ වෙතත් එම සති අන්තය මහනුවර නගරයට මහ වැසි ඇද හැලුණු දින දෙකක්ව තිබිණි. පෙරහැරට බාධාවක් නොවූවත් එදිනත් ඊට පසුදාත් මහනුවරට මහ වැසි ඇද වැටිනි. ජනාධිපතිවරයා රන්ටැඹේ ශිෂ්‍ය බට මූලස්ථානයට ද ගියේය. එහිදී ජනාධිපතිවරයා අතින් ශිෂ්‍ය භටයන්ට වර්ණ ප්‍රදානය කරන වර්ණ ප්‍රදානෝත්සවයක් ද පැවැත්විණි. එම කටයුතු නිමා වීමත් සමඟ රනිල් නැවත කොළඹට ආවේ නැත. මන්ද සඳුදා දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇතුළු විශේෂ රාජකාරි කටයුතු රාශියක්ද උදේ පටන් මහනුවරදීම පැවැත්වීමට සූදානම් කරගෙන තිබූ නිසාය. සඳුදා පෙරවරුවේ ඇමැති මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා අමාත්‍යවරුන්ට කොළඹ සිට මහනුවරට යන්නට සිදුවිය. ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වීමට ජනාධිපතිවරයා නුවර සිට කොළඹට එනවා වෙනුවට අමාත්‍යවරුන් වෙනම විශේෂ වියදමක් දරා විශාල ඉන්ධන පිරිවැයක් දරා මහනුවරට ගෙන්වා ගැනීම යම් යම් දේශපාලන අංශවල විවිධාකාර විවේචනයන්ට බඳුන් වනවා අපට දැකගත හැකි විය.

කැබිනට් මණ්ඩල රැස්වීම අතරවාරයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබූ ලිපිගොනුවක් ජනාධිපතිවරයාගේ අවධානයට නතු විය. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් කීපයක් ද මෙම ලිපි ගොනුවේ තිබිණි. විශේෂ දීමනා රැසක් මෙන්ම බදු ඉවත් කිරීමේ යෝජනාවන්ට අමතරව එහි තිබූ විශේෂිත යෝජනාවක් වූවේ ආචාර්යවරුන්ට හිමිවන පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් අචාර්යවරයා සමඟ විදේශගත වන පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබාදිය යුතුය යන ඉල්ලීමකි. මෙය දුටු බන්දුල ගුණවර්ධනගේ දෑස් ඉහළට එසැවුණු අතර “මොකක්ද සර් මේ ඉල්ලීම” යනුවෙන් විමසා සිටියේය.

“මේක නම් කරන්න බෑ. අනෙක් ඒවා ගැන සලකා බලන්න පුළුවන්” ජනපති සිය ලේකම් සමන් ඒකනායක ලෙස බලමින් කීවේය. ඊට ඌණපූර්ණයක් තබමින් බන්දුල ද කීවේ මෙයාලා රටට එකක් කියනවා අපට වෙනත් එකක් එවනවා” කියාය.

ඡන්දය තවම පේනතෙක් මානයක නොතිබුණත් පසුගිය සති අන්තයේත් විපක්ෂයේ පක්ෂ ගණනාවක් පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියහ. මැතිවරණ වේදිකාවේ උණුසුම ඉතා ඉහළින් දැනෙන්නට විය. විශේෂයෙන්ම සමගි ජන බලවේගය රටේ තැන තැන යමින් පවත්වනු ලැබුවේ අති දැවැන්ත රැස්වීම්ය. ඒ අතින් ඔවුන් අන් සැවොම පරදා ඉදිරියෙන්ම සිටියහ.

● හිරුනිකා පැරදවූ
අලුත්ම අභියෝගය…

විපක්ෂයේ දෙවැනි බලවේගය වූයේ ජාතික ජන බලවේගයි. ඔවුන්ද රටේ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යමින් අතිදැවැන්ත රැලි පවත්වනු ලැබූහ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අතින් බලන විට වැඩිපුරම වියදමක් දරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියේ ජාතික ජනබලවේගයයි. ජාතික ජන බලවේගය මගින් මැතිවරණයට තරග වදින සියලුම අපේක්ෂකයන් වෙනුවෙන් ඔවුන්ගේ ඡායාරූප යොදා ඒ ඒ මැතිවරණ කොට්ඨාශයට අදාළ වන ලෙස වෙන වෙනම පත්‍රිකා මුද්‍රණය කර තිබුණේ වෛවර්ණ ඔප කඩදාසි වලය. අපේක්ෂකයෝ ඒවා ප්‍රාදේශීය සභා කොට්ඨාස මට්ටමින් ගෙන්ගෙට බෙදමින් සිටියහ. ප්‍රචාරක කටයුතුවලට කරන ලද වියදම අතින් ජාතික ජනබලවේගය ඉදිරියෙන්ම සිටින බව පැහැදිලි විය.

ඒ එක් පැත්තකි. අනිත් අතට මැතිවරණ ප්‍රචාරක රැලිවල දැවැන්ත වේදිකා නිර්මාණයෙන් ද ඔවුහු සමගි ජන බලවේගය අභිබවා සිටියහ. නිර්මාණශීලී ගුණයෙන් මෙන්ම සැරසිලි සඳහා වියදම් කිරීමේ ගුණයෙන් ද ඔවුන් ඉදිරියෙන් සිටියහ.

සමගි ජන බලවේගය වටා ගොනුවන ජනතා බලවේගය දවසින් දවස වර්ධනය වන මට්ටමක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත් තරගය තිබුණේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම් හා සමගි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය අතර නොව. විපක්ෂයම නියෝජනය කරන දැවැන්ත බලවේග දෙක වන සමගි ජන බලවේගය හා ජාතික ජනබලවේගය අතර බව පැහැදිලිවම දැකගත හැකිවූහ.

වේදිකාවේ උණුසුම් වාද විවාද පැන නැඟුනේ ද මේ දෙපිරිස අතර ය. ජාතික ජන බලවේගය නම් ආණ්ඩුවට එරෙහිවත් රාජපක්ෂවරුන්ට එරෙහිවත් සමගි ජන බලවේගයට එරෙහිවත් සිය ප්‍රචාරක යුද්ධය දියුණු තියුණු කරමින් ප්‍රචාරක කටයුතුවල නිරත වූහ. එහෙත් පැහැදිලිවම සමගි ජන බලවේගය නම් ඔවුන්ගේ ප්‍රතිරෝධය එක හෙළාම ජාතික ජන බලවේගය ඉලක්ක කරගනිමින් මුදාහරිමින් සිටියහ.

ජාතික ජනබලවේගයේ සෑම කථිකයෙක් ම ප්‍රචාරක රැස්වීම්වලදී ආණ්ඩුවට හෝ රාජපක්ෂවරුන්ට බනිනවාට වඩා බැන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සහෝදරවරුන්ට ය. ඒ සඳහා ඔවුන් වෙනමම කථික කථිකාවන් යොදවමින් සිටියහ. කොටින්ම කිවහොත් සුජීව සේරසිංහ රට සිට නැවත දේශපාලනය කරන්නට ලංකාවට පැමිණියේ ජාතික ජන බලවේගයට පහර දෙන්නැයි විවෘතවම කියා සිටියේය. ඔහු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ඇතැම් ක්‍රියාකාරකම් හා ලක්ෂණ වේදිකාවේ ප්‍රතිනිර්මාණය කරමින් හස්ත විකාර මුඛ විකාර පාමින් දැඩි ලෙස විවේචනය කරන්නට විය.

මේ අල්ල පනල්ලේ හෙලිකොප්ටරය ලකුණෙන් තරග වදින ඩලස් විමල් වාසු ගම්මන්පිල අනුර යාපා ආදී නායකයන්ගෙන් සුසැඳි නිදහස් ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් ද මැතිවරණ වේදිකාවේ එහි යම්කිසි ප්‍රචාරක කාර්යභාරයක් ඉටු කරමින් සිටියහ. එහෙත් ඒ එකදු පක්ෂයක්වත් ඉහත කී ජන බලවේග දෙකෙහි ළඟටවත් එන්නට තරම් ප්‍රචාරක යුද්ධ අතින් බලවත්ව සිටියේ නැත. ඒ අතර ජනතාව අතරට යමින් නිදහස් ජාතික සන්ධානය මතවාදීව ගෙන ගිය දේශපාලන වෙනසද සුළුපටුව දැකිය නොහැකිය.

විපක්ෂයේ අනෙකුත් පක්ෂ මොනතරම් උනන්දුවකින් කැපවීමකින් පුංචි ඡන්දය වෙනුවෙන් සූදානම් වුවත් ආණ්ඩු පක්ෂයේ බලවේග ඒ තරම් උනන්දුවකින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වන ආකාරයක් නම් දක්නට තිබුණේ නැත.

ඇතැම්හු මේ ගැන කීවේ… “නොපවත්වන ඡන්දයක් වෙනුවෙන් කුමට වියදම් කරමින් කුමට මහන්සි වනවාද කියා” ආණ්ඩු පක්ෂයේ බලවේග සිතනවා ඇති කියාය.

● ජනතාව පාරට බස්සන හැටි
ඇල්ලේ හිමි කියයි…

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් රට තුළ යම්කිසි න්‍යාය පත්‍රයක් දේශපාලන කරළියට යටින් ක්‍රියාත්මක වෙමින් තිබුණත් මතුපිට කිසිවෙක් ඒ ගැන කතා කරන්නට උත්සාහ ගත්තෙ නැති තරම්ය.

සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය වේදිකාව දෙවනත් කරමින් දේශපාලන කරුණු කොතෙක් කතා කළත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන් දෙපිරිසම පෙන්නුම් කළේ එකිනෙකට සමාන නිහැඬියාවකි. අනෙකුත් ලොකු කුඩා දේශපාලන කණ්ඩායම් ද ඒ ගැන කතා කළේ නැත. එහෙත් අවුරුදු 35ක් තිස්සේ දිග හැරෙමින් පැවති මේ ප්‍රශ්නය ගැන එදා මෙදාතුර කතා කළ පිරිසක් වූහ. ඔවුන්ගේ තවත් සාකච්ඡාවක් පසුගිය සතියේ පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේ පැවැත්වුණේ මේ රටේ ගිහි පැවිදි ජාතික සංවිධාන රාශියක සහභාගිත්වය ඇතිවය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මෙහිදී සභාව හමුවේ දෙසුම් පැවැත්වූ අතර ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු ගිහි පැවිදි උගතුන් පිරිසක් සාකච්ඡා මණ්ඩපයට එක්ව සිටියහ. තම දේශනයේ දී ඇල්ලේ ගුණවංශ හිමියෝ එක්තරා විශේෂ කාරණාවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට විශේෂ ස්තුතියක් පළ කළේ මෙසේය…

“ඇත්තම කියනවා නම් අපි පහුගිය දවස්වල මේ රටේ ප්‍රශ්න ගැන කතා කරලා, සටන් කරලා, වාද විවාද කරලා, මහන්සි වෙලා හති වැටිලා කලකිරිලා එක එක පැතිවල ඉබාගාතේ වැටිලා හිටියා. අපට එකතුවෙන්න කඳවුරක් වේදිකාවක් තිබුණෙ නැහැ. ඔන්න ඔහොම ඉන්නකොට තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෙන්න මේ දහතුන්වෙනි සංශෝධනය බලාත්මක කරනවා යි කියන ප්‍රශ්නේ ගෙනල්ල අපි කට්ටියට එකතු වෙන්න වේදිකාවක් හදලා දුන්නා. එක අතකින් උන්නැහේ කරල තියෙන්නෙ ලොකු සේවයක්. ඒකට මං ස්තුතිවන්ත විය යුතුයි.

අනිත් පැත්තෙන් උන්නැහැට මං අභියෝගයක් කරනවා. පුළුවන්නං ඔය කියන විදියට දහතුන් වැනි සංශෝධනය බලාත්මක කරලා පෙන්නන්න… අපි ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා ජනතාව පාරට බස්සලා පෙන්නනවා.

මේ වෙලාවේ මේ උතුරු නැගෙනහිර ඉන්න දෙමළ මුස්ලිම් ජනතාවත් ලොකු වැරැද්දක් කරනවා. උන් කියනවද උතුරයි නැගෙනහිරයි විතරක් උන්ගේ නිජබිමලු. ඇයි උතුරයි නැගෙනහිරයි විතරක්. ඇයි උන්ට පැහැදිලිව කටක් ඇරලා කියන්න බැරි මේ මුළු රටම උන්ගේ නිජබිම කියලා. අභිමානෙන් කියපල්ලාකො…

එහෙම කිව්වට කවුරුවත් විරුද්ධ වෙන්නෙ නෑ මේ අපි ඇර. අපිත් විරුද්ධ නොවී ඉන්නම්….”

සාකච්ඡාව බොහෝ දුරදිග ගිය සාකච්ඡාවක් වූහ.

● රාජකීයෙන් බිහිවුණු ජනපති හා අගමැති…

පසුගිය අඟහරුවාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ උපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙක් මේ රටේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා වී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ය. උපහාරය පැවැත්වුණේ ඒ හේතුව නිසාය.

උපහාර උත්සවයට රාජකීය විද්‍යාලය විසින් රාජකීයන් ඉගෙනගෙන වත්මන් පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනය කර තිබුණත් රනිල්ට දක්වන විරෝධයක් වශයෙන් සැලකිය යුතු පිරිසක් ඊට එක්ව සිටියේ නැත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩිලාන් පෙරේරා, හර්ෂ ද සිල්වා, මෙසේ නොපැමිණ සිටි අය අතර කැපී පෙනුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්, මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, සාගල රත්නායක ඇතුළු සැලකිය යුතු මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටීම විශේෂත්වයකි.

උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිසු දරුවන් හා දෙගුරුන් අමතා විශේෂ කතාවක් කළේය. ඔහු ඔහුගේ ජීවිතය ඇසුරෙන් අභියෝග ජය ගැනීම හා නායකත්වය භාර ගැනීම යන මැයෙන් වර්තමාන දේශපාලනය ද සම්බන්ධ කරගනිමින් කළ කතාව කැපී පෙනුණි.

මෙම උත්සවයෙන් පසුව පැවැති ප්‍රිය සම්භාෂණයේ දී මහින්දානන්ද අතීතය මෙනෙහි කරමින් අපූරු කතා කිහිපයක් කීවේය…

“රෝයල් එකේ අපි සුද්දො වගේ හිටියට සුද්දන්ට එල්ලේ ගහන්න පුරුදු කරපු මිනිස්සුත් මෙතන ඉන්නවා…” ඔහු එසේ කීවේ රංජිත් සියඹලාපිටිය පෙන්වමිනි.

“ඇයි එල්ලේ විතරක්… මේකෙ ඇතුලෙ වොලිබෝල් ක්‍රීඩාව ජනප්‍රිය කළෙත් මේගොල්ලෝ ම තමයි.” තව අයෙක් රන්ජිත් පෙනුමින් කීවේය…

“අම්මෝ… මුනුත් එක්ක මේක ඇතුලේ හිටියා නෙවෙයි… මට නම් එපාම වුණා… ” රංජිත් සියඹලාපිටිය ද එසේ කියමින් ඩිලාන් මහින්දානන්ද හා තමන් බම්බලපිටියේ එකම බෝඩිමක කල් ගෙවූ අතීතය මතක් කරමින් පරණ කතා ගණනාවක් මතක් කළේය…

ඇතැම් මන්ත්‍රීවරු මේ උත්සවයට පැමිණ නොසිටියේ රනිල්ට දක්වන විරෝධයක් ලෙස වුවත් පාර්ලිමේන්තුවේ දී රනිල් සමඟ හොඳටම රණ්ඩු වෙන තවත් විශේෂ පුද්ගලයෙක් මේ අවස්ථාවේ පැමිණ සිටියේය. ඔහු ගෙවිඳු කුමාරතුංගයි. ඔහුව වටකරගෙන කිහිප දෙනෙක් ඒ ගැන කරුණු විමසන්නට වූහ…

“ආරාධනාව කළේ විදුහල්පතිතුමා. අනිත් එක ජනාධිපතිතුමායි අගමැතිතුමයි මමයි එකම පාසලේ වීම ගැන මම ආඩම්බර වෙනවා. මට එහෙම පුද්ගලික විරෝධයක් නෑ. මට ප්‍රශ්නේ තියෙන්නේ මේ රටට ජාතික වශයෙන් බලපාන ප්‍රතිපත්තිමය කාරණා කීපයක් සම්බන්ධයෙන් විතරයි.” ගෙවිඳු කීවේය.

● ශ්‍රීලනිපය නිහඬයි මෛත්‍රී කොරියාවේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල සිටින්නේ දැඩි නිහඬ ප්‍රතිපත්තියක ය. මැතිවරණයේදී වුවත් දයාසිරි තිලංග ඇතුළු කණ්ඩායමක් හෙලිකොප්ටර් ලකුණෙන් ඡන්දය ඉල්ලන්නට පිඹුරුපත් සකසමින් සිටියත් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ඊටත් සපුරාම වෙනස් තැනක පිහිටා සිටියේය. ඔහු සිටියේ අත ලකුණින් තරග වදින ස්ථාවරයේය.

මුල් කාලේ මේ දෙගිඩියාව ගැන යම් යම් හැලහැප්පීම් පක්ෂය ඇතුළේ සිදු වූ බව ඇත්තය. අත ලකුණෙන් තරග වදින්නට ගාල්ලෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීම ගැන ගාලු දිස්ත්‍රික් නායක ශාන් විජේලාල් ද විරෝධය පළ කළේය. නායකයා හා ඔහු අතර ඇතිවන්නට ගිය විරසකය සාකච්ඡාවෙන් සම්මුතියෙන් උරා ගන්නට දෙපාර්ශ්වය සමත් වූහ.

මේ අතර මෛත්‍රීපාල සිරිසේනට දකුණු කොරියාවෙන් ආරාධනාවක් ලැබිණි. දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ලෝක වැඩිහිටි සම්මේලනය නියෝජනය කරන්නට ඔහුව තෝරාගෙන තිබුණේ ලංකාවේ 6 වැනි ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඒ සමගම වෛද්‍ය චූලා සෙනවිරත්න මහතාටත් එම ආරාධනයම ලැබී තිබිණි. මෛත්‍රී ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ නම ද මෙම ගමනට යෝජනා කළේය. ඒ අනුව ඔවුන් පසුගිය විසි එක් වෙනිදා සිට මේ වන තුරු ගුහාවේ සංචාරයේ නිරතව සිටියහ.

මැතිවරණය මාර්තු 9 වැනිදා පවත්වනවා ද නැද්ද යන කරුණ සම්බන්ධයෙන් තිබූ සැක සංකා නිමා කරමින් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයෙන් උත්තරයක් දී තිබිණි. පාර්ශ්ව ගණනාවක් විසින් මැතිවරණය පැවත්වීම සම්බන්ධයෙන් ගොණු කොට තිබූ සියලු පැමිණිලි විමසා බැලීමට භාර ගත් අධිකරණය ඒ සඳහා දිනයක් දුන්නේය. ඒ අනුව මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විමසා බැලීමට ලබන මැයි මාසෙ දිනයක් ලැබී තිබිණි. ඒ අනුව මැතිවරණය නිසැකවම කල් දැමෙන බව සනාථ විය.

එම තීන්දුව පැමිණි බ්‍රහස්පතින්දා උදේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවකට ලොකු විවේචනයක් පැමිණියේය. ඔහු එක එක විදියේ කතා ගොඩක් කීවේය.

“මැතිවරණය නම වෙනිදා පවත්වන්න බෑ. කොමිසම ඒ සඳහා හරියට දිනයක් තීන්දු කරලා නෑ…”

ඒ සමගම ජනාධිපති රනිල් උපහාසයෙන් යුතුව තවත් කතා ගණනාවක්ම පාර්ලිමේන්තුවේ කීවේය…

“මේගොල්ලෝ මෙතන පාර්ලිමේන්තුවේ කෑමොර දෙනවා මැතිවරණ පවත්වන්න කියලා. අනිත් පැත්තෙන් මාලිමාවට බයෙන් මාව හමු වෙලා පුද්ගලිකව කියනවා අනේ ජනාධිපතිතුමා.. මැතිවරණය කොහොමහරි කල් දාලා දෙන්න කියලා.. මොකද්ද ප්‍රතිපත්තිය. ඒකෙන් වුණේ අර මුජිබර් රහුමාන් විතරක් අමාරුවෙ වැටුනෙ. මං එයාට කිව්වා…”

මිනිහාගේ විපක්ෂයේ පිරිස් නැඟිටිමින් මනෝගේ කතාවට විරෝධය පළ කරන්නට වූහ… ඒ විරෝධය පළ කරන හැමෝටම රනිල් ඇඟිල්ල දිගු කරමින් ඡන්දය කල් දාන්නට මෙයත් කිව්වා.. මෙයාත් කිව්වා… මෙයත් කිව්වා… යැයි ප්‍රකාශ කළේය… හොඳයි කිව්වේ නැද්ද…. නැද්ද… කියමින් අභියෝග කළේය. අන්තිමේ මුළු පාර්ලිමේන්තුවම මහා ගාලගෝට්ටියක් බවට පත්විය.

මෙම සිදුවීම දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඩලස් අලහප්පෙරුම අපූරු කථාවක් කළේය. ජනාධිපතිවරයාගේ හැසිරීම, පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය පරාජය කරමින්, ජනසම්මතවාදය පරාජය කරමින් බොරුව ඉස්මතු වන ආකාරය පෙන්වා දෙමින් කතා කළා ඔහු අන්තිමේ එකම එක ඉල්ලීමක් කළේය… ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ විනාශය විනෝදයක් කරනොගන්නා ලෙසයි…

● ඩොලර් වලින් මන්ත්‍රී වැටුපක්…

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබිණි. කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා විය.

“සර්.. චීනෙ කොටසයි, අපේ කොටසයි කියල කොටස් දෙකක් තියෙනවනේද?” ඒ රාජ්‍ය ඇමැති අරුන්දිකය.

“නෑ මේකෙ එහෙම එකක් නෑ. මේක අපිට අයිති කොටසක්. ඒක ගැසට් කරල තියෙන්නේ.” ජනාධිපතිවරයා ක්ෂණිකව කීය.

මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ප්‍රියත් බන්දු වික්‍රමද කැඳවා තිබුණි. ඔහු වරායේ හිටපු සභාපතිවරයායි. ප්‍රියත් බන්දු මෙහිදී ආයෝජකයන් ගැන මෙන්ම තවත් කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළේය.

මෙහි ආයෝජන කටයුතු ආරම්භ කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ප්‍රියත් බන්දුගෙන් ප්‍රශ්න කළහ.

“මේ ඉඩම සම්පූර්ණයෙන්ම අයිති අපිට. කවුරු ආයෝජන ගෙනාවත් අනුමැතිය දෙන්න ඕන අපියි. ඒ වගේම මෙහි සියලුම ගනුදෙනු සිද්ධවෙන්නෙ ඩොලර් වලින්. සල්ලි එන්නෙ විදේශීය ගිණුමක් හරහා. ඒක කෙලින්ම යන්නෙ මහා භාණ්ඩාගාරයටයි.” හිටපු සභාපතිවරයා කීය.

“පාර්ලිමේන්තුවත් පොර්ට්සිටියට ගෙනිච්චනම් අපිට ඩොලර්වලින් පඩි ගන්න තිබුණා” ජනාධිපතිවරයා කී කතාවට පිරිස කොක්හඬ ලෑහ.

“විපක්ෂය දැන් මේව ගැන හොයන්නෙ නෑ. එයාල අපෙන් අහන්නෙ ඡන්දෙ ගැනයි?” මන්ත්‍රී එස්.බී. දිසානායක වෙනත් ප්‍රශ්නයක් මතු කළහ.

“මැතිවරණය ගැන අපිට ගැටලුවක් නැහැ. ඔයා දන්නවද ඡන්දෙ කල් දැම්ම කියල. මම දන්නෙ නෑ. මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මැතිවරණ කොමිසම පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා මැතිවරණ කොමිසම මොනවහරි තීන්දුවක් ගන්නව නම් ඒ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕන. මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනව” ජනාධිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

“සර්.. අධිකරණයට මැතිවරණය කල්දාන්න පුළුවන්ද?” මන්ත්‍රීවරයකු ඇසීය.

“ව්‍යවස්ථාවේ කොයි වගන්තියෙද එහෙම සඳහන් වෙලා තියෙන්නේ” ජනාධිපතිවරයා පෙරළා ප්‍රශ්න කළේය.

සියල්ලෝම සිනාසුණා මිස කිසිවකු එයට පිළිතුරු දුන්නේ නැත.

“දැන් සමහරු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නඩු දාන්න හදනවනේ. එහෙම නඩු දාන්න පුළුවන් කාර්යභාරයක් නොකරන අයටයි. මොන නීතිය යටතේ එහෙම කරන්න යනවද දන්නේ නෑ. ඒක නිසා විපක්ෂය ඡන්දය ගැන කතා කළොත් ඔයාල මේව කියන්න.” ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වමින් ඇතැම් වගන්ති කියවමින් මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කළේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment