නොරෙච්චෝලේ ආපහු කැඩෙයි…විදුලි මාෆියාවේ තවත් වික්‍රමයක්….

235

වර්තමානයේ රටේ විදුලිබල සහ බලශක්ති ඇමැතිවරයා වන්නේ මෙරට හිටපු දේශපාලනඥයකු වූ මහින්ද විජේසේකරයන්ගේ පුත් කංචන විජේසේකරය. හේ තරුණය. රටේ ඇමැතිවරයකු ලෙස වගකිවයුතු අමාත්‍යාංශයක් භාරගනු ලැබුවේ ද පළමු වතාවටය.

එකී වගකීම භාර ගැනීමෙන් අනතුරුව කංචන විජේසේකර මහතා බලශක්ති ඇමැතිවරයා ලෙස අද රට තුළ මතුවී ඇති ඉන්ධන අර්බුදයට විසඳුමක් ලබා දෙන්නට සාධනීය උත්සාහයක් දරන අයුරු ඉකුත් දිනවල අපි දුටුවෙමු. එහිදී ඔහු අදාළ විෂය සම්බන්ධයෙන් වන සියලු කරුණු කාරණා මැනවින් අධ්‍යයනය කර ඇති බවක්ද දක්නට ලැබිණි. ඉකුත් දිනවල ඛනිජ තෙල් බෙදා හැරීම අර්බුදයට ලක්කරමින් පෞද්ගලික ටැංකි රථකරුවන් ආරම්භ කරනු ලැබූ වර්ජනයේදී විෂය භාර ඇමැතිවරයා ලෙසින් ඔහු කටයුතු කළ ආකාරයෙන් එය මැනවින් පැහැදිලි විය. එම අවස්ථාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව රටට කරුණු පැහැදිලි කිරීමට ද ඔහු කටයුතු කළේය. එහිදී හෙතෙම තමන් යටතේ ඇති අනෙක් විෂය වන විදුලිය සම්බන්ධයෙන්ද කතා කළේය.

ඇමැතිවරයා ලෙස රටේ විදුලි සැපයුම පිළිබඳවද කංචන විජේසේකර මහතා හොඳ අධ්‍යයනයක් සිදු කර තිබෙන බව ඔහු ඒ අවස්ථාවේ කරුණු දැක්වූ ආකාරයෙන් පෙනී ගියේය. එහෙත් ඔහුගේ ඒ පිළිබඳ දැනුම විදුලිය භාර ඇමැතිවරයා ලෙස ප්‍රමාණවත් වනු ඇතිද?

නැත. කිසිසේත්ම නැත. කාලාන්තරයක සිට ලංකා විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු මාෆියාව නොහොත් ත්‍රස්තවාදයේ කුමන්ත්‍රණ හමුවේ නම් විදුලිබල මණ්ඩලය පිළිබඳ තමන් සතු දැනුමෙන් ඇමැති කංචන විජේසේකරට හැරෙන්නටවත් නොහැකි වනු ඇත. එකී ත්‍රස්තවාදයේ අක්මුල් වර්තමානයේ විදුලිය අමාත්‍යාංශයේ ලොකු පුටු දක්වාම විහිදී ගොස් අවසන්ය. අප දැක දැන සිටි ත්‍රස්තවාදියා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් වරෙකදී ම්ලේච්ඡ ලෙස පහර දුන්නේ රටේ තෝරා ගත් එක් මර්මස්ථානයකටය. හේ එහිදී මිනිසුන් සැණෙකින් මරා දැමුවේය. එහෙත් විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදය කාලාන්තරයක සිට එක්වරම පහර දෙන්නේ මුළු රටටම ය. උපරිම පීඩනය තුළින් ඔවුහු රටේ ජනතාව මරා දමන්නේ බිඳෙන් බිඳ වන්නාහ. එසේ ක්‍රියාත්මක වීම වෙනුවෙන් ජනතා මුදලින් උපරිම වරප්‍රසාද ද ලබන්නාහ.

අවසානයේ සිය උපක්‍රම තුළින් ඇතිකරන ජනතා පීඩනය උපරිමයට ගෙන යන ඔවුහු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණද සිදු කරන්නාහ. මේ රටින් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේදී ප්‍රබල චරිතයක්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ රටේ ජනාධිපතිවරයා වීමේදී මෙකී විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදය ද අවසන් වනු ඇතැයි අපි කල්පනා කළෙමු. එහෙත් එය පමණක් නොව තවත් බොහෝ දේ හැටනව ලක්‍ෂයක් දුටු දවල් හීනම වූහ.

මෙවර විදුලිබල මණ්ඩලය තුළ කුමන්ත්‍රණය දියත් වෙද්දී ගෝඨාභය රාජපක්‍ෂ කළේ ද හිතමිතුරු සංග්‍රහය යෙදීමය. අවසානයේ ඉකුත් දෙසැම්බර් 03 වැනිදා මුළු රටම එකතැන නවතමින් රට පුරා විදුලිය බිඳ වැටෙද්දී විදුලි ත්‍රස්තවාදය කරනු ලැබුවේ ගෝඨා ගෝ හෝම් කියන තැනට මුළු රටම ඇද දැමීම නොවේද?

පැහැදිලිවම සිදුවූයේ ඒ ටිකය. අද විසඳුමක් නොපෙනෙන අර්බුද රැසක් හමුවේ රටේම ජනතාව වීදි බැස සිටියද එහි ආරම්භය සිදු වූයේ විදුලිය අර්බුදයත් සමඟය. ඉකුත් දෙසැම්බර් 03 වැනිදා රටපුරා විදුලිය බිඳ වැටීමෙන් පසුව නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍ර අක්‍රීය වීමත් සමඟ දිනෙන් දින පැය ගණන ඉහළ දමමින් සිදු කෙරුණු විදුලි කප්පාදුව සියල්ලට මුල් නොවූයේද?

මෙරට දෛනික සමස්ත විදුලි ඉල්ලුම ඇත්තේ මෙගවොට් දෙදහස්පන්සියයක (2500) සීමාවේය. එම මෙගවොට් රටට දෙන්නට අද විදුලිබල මණ්ඩලයේ සියලු වරප්‍රසාද සමඟ රාජකාරි කරන විදුලි ඉංජිනේරුවන් ගණන දහසකට අධිකය. කෙටියෙන් කිවහොත් සමස්ත විදුලි උත්පාදනයෙන් මෙගවොට් දෙකකට එක් ඉංජිනේරුවකු බැගින් සිටී. අද විදුලිබල මණ්ඩලය තුළ ඉහත කී ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නෝ මේ අතරින් ඇතැම්හුය. එම ත්‍රස්තවාදය මේ මොහොතේත් ක්‍රියාත්මක ය. මීට දෙදිනකට පෙර යළිත් වරක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වීම එයට පැහැදිලි උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

රට තුළ විදුලිය අර්බුදයක් මේ මොහොතේත් පවතිද්දීත් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් මෙසේ අක්‍රීය වූයේ ඇයි? එහි ස්වභාවයෙන් හටගත් දෝෂයක් එයට හේතු වූයේද?

නැත. අදාළ උත්පාදන යන්ත්‍රය භාරව සිටි ඉංජිනේරුවන් විසින් එය නොසැලකිල්ල හෝ හිතාමතා සිදු කළ දෙයක් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරන්නේය. මෙහිදී එකී ජනන යන්ත්‍රය අක්‍රීය වීමට හේතුවී ඇත්තේ කුමක්ද?

එම ජනන යන්ත්‍රයේ ඇතුළත දුමාරය පිටතට ඇද දැමිමට ක්‍රියාත්මක පද්ධතියක් ඇත. එකී පද්ධතියේ යම් දෝෂ සහිත බවක් පවතින බව නඩත්තු කටයුතු භාර සේවකයන් අදාළ බලධාරීන්ට දැනුම් දී තිබියදී සහ එය පහසුවෙන් සකස් කිරීමට හැකියාව තිබියදීත් වගකිව යුත්තෝ නිහඬවම දිගින් දිගටම එය ක්‍රියාත්මක කරන්නාහ. එසේ වගකීම පැහැර හරිමින් කටයුතු කරන්නෝ මේ රටේ මහජනතාවගේ මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් උගත් මහජන මුදලින්ම රුපියල් ලක්‍ෂ ගණනින් වැටුප් ලබන නොරොච්චෝලේ එකී ජනන යන්ත්‍රය භාරව සිටි විදුලි ඉංජිනේරුවෝය. අවසානයේ එම ජනන යන්ත්‍රය අක්‍රීය වන්නේය. නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රයක් නැවත වරක් බිඳ වැටෙන්නේ එසේය. එය යළි යථා තත්ත්වයට පත් කිරීමට දින දහයක පමණ කාලයක් ගතවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ සිටින ඇතැම් විදුලි ඉංජිනේරුවෝම පවසන්නාහ. ඒ අනුව දැනට රට තුළ පැය තුනක කාලයක් සිදු කෙරෙන විදුලිය කප්පාදුව පැය පහක් දක්වාවත් දීර්ඝ කළ යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය කියන්නේය.

පවතින මූලික දෝෂයක් පිළිබඳ දැනුම් දීම් සිදු කෙරෙද්දීත් එය නොසලකා සිටිමින් රුපියල් කෝටි ගණනාවක් වටිනා විදුලි ජනන යන්ත්‍රයක් මේ අන්දමට අක්‍රීය වනතුරු බකන්නිලා සිටින විදුලි ඉංජිනේරුවන් මේ රටට තවත් අවශ්‍යද?

අප එකී විමසීම කරනුයේ මේ වන විට විදුලිබල මණ්ඩලය භාරගෙන කටයුතු කරමින් සිටින ඇමැති කංචන විජේසේකර මහතාගේ අවධානය පිණිසය. ඇතැම් විට රට තුළ පවතින තත්ත්වය තුළ හෙට දිනයේ කංචන විජේසේකර මහතා විදුලිය ඇමැති නොවන්නටද පුළුවන. එහෙත් වෙන කවුරුන් හෝ එම ධුරය භාර ගනු ලැබුවද එහිදීත් අපට අසන්නට ඇත්තේ මේ ප්‍රශ්නයම ය.

හෙට දිනයේ පවතින රජය වෙනසකට ලක්ව වෙනත් කණ්ඩායමක් රට භාරගත්තද අපට ඒ කාගේ කාගෙනුත් අසන්නට ඇති එකම ප්‍රශ්නය වන්නේද විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගණනින් වනසන විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදයට තිත තබන්නේ කවදාද යන්න පමණි. දැන් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය ය. ජනතා මුදල් වැය කරමින් මෙකී ඉංජිනේරුවන්ම එය යළි සකස් කරනු ඇත. එහෙත් අද දවසේ නොරොච්චෝලේ බලාගාරයේ පවතින දැවැන්තම අර්බුදය බවට පත්ව ඇත්තේ එය පමණක්මද?

නැත. යම් ආකාරයකින් සිදු නොවිය යුතු දෙයක් සිදු වුවහොත් මුළු රටටම දින ගණනාවක් විදුලිය නොමැතිව අඳුරේ අතපත ගාන්නට සිදුවන තරමේ අතිශය භයානක තත්ත්වයක්ද අද නොරොච්චෝලේ’ බලාගාර තුළ පවතින්නේය.

බොහෝ ජනතා විරෝධතා මැද නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය ඉදි කෙරුණේ මීට වසර දහයකට පමණ ඉහතදීය. එකී ඉදිකිරීම් සිදු කරනු ලැබුවේ චීන ජාතික ඉංජිනේරුවෝ ය. අදියර තුනක් යටතේ එකී ඉදිකිරීම් සිදු කෙරුණි. මෙලෙස ඉදිකරනු ලැබූ නොරොච්චෝලේ බලාගාරයේ සෑම ජනන යන්ත්‍රයක්ම වසර හයකට වතාවක් අලුත්වැඩියා කළ යුතුය. ඉදිකර වසර දහයක් ගතව තිබියදීත් අදටත් එකී අලුත්වැඩියා කටයුතු සඳහා ඉංජිනේරුවන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය ගෙන්වනු ලබන්නේ චීනයෙනි. එසේ ගෙන්වනු ලබන පිරිස තුන්සියයක් පමණ වන අතර ඔවුන් මෙරට රැඳී සිටින කාලය තුළ ඉඳුම් හිටුම්, ආහාර පාන පමණක් නොව වැටුප් පවා ගෙවිය යුතුව ඇත්තේ විදුලිබල මණ්ඩලය විසිනි. ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියනයකට ආසන්නය.

ලංකා විදුලිබල මණ්ඩලයේ පඳුරකට පයින් ගැසුවත් වීසි වන තරමට සිටින විදුලි ඉංජිනේරුවන් එහි සනීපාරක්‍ෂක කටයුතු හැරෙන්නට අනෙකුත් සියලුම අංශයන් සියතට ගෙන සිටියදී අදටත් නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියාවන් සඳහා චීනයෙන් මිනිස්සු ගෙන ඒමට සිදුව තිබේ නම් එය මොනතරම් අභාග්‍යයක්ද?

දස වසරක් ගතවීත් නොරොච්චෝලේ බලාගාරයේ තාක්‍ෂණය හදාරා එය උකහා ගන්නට නොහැකි මෙවැන්නන් ජනතා මුදලින් වැටුප් ලබමින් ඔහේ බකින්නිලා සිටින සැබෑම නිකමුන් නොවන්නේද?

විදුලිබල මණ්ඩලයේ කලකට ඉහතදී සිටි සාලිය පණ්ඩිතරත්න නමැති යාන්ත්‍රික ඉංජිනේරු මහතා නොරොච්චෝලේ බලාගාරයේ එකී තාක්‍ෂණය ග්‍රහණයට ගෙන සාර්ථක ලෙසින් අපේ දැනුමද මිශ්‍රකර එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තද මෙකී ත්‍රස්තවාදීන් විසින්ම ඒ මහතා විදුලිබල මණ්ඩලයෙනුත් පන්නා දැමීය.

එසේ විදුලිබල මණ්ඩලයේ පන්නා දැමූ ඒ මහතා උපන් රටට සිය සේවය ලබාදිය නොහැකිව අද විදේශයක ඉහළ තනතුරක් දරමින් සිටින්නේය. සිදු විය යුතුව ඇත්තේ මෙවන් දේද? අද නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සඳහා චීනයෙන් මිනිසුන් එනතුරු බලා සිටින්නේ විදුලිබල මණ්ඩලයේ සිටි රටට හිතැති එවැනි උගතුන් එයින් පන්නා දමා සියල්ල වළපල්ලට යවමින් සිටින මෙකී ඉංජිනේරු දේශද්‍රෝහීන්ය. අද දවසේ රටේ විදුලිය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය වෙත ගමන් කළ නොහැකි බව පවසමින් නොයෙකුත් බයිලා කියමින් කොමිස් කුට්ටි හමුවේ ඉන්ධන මත ජනනය වන විදුලිය වෙතට රටම ඇදගෙන යමින් සිටින්නෝද මොවුහුය. ඉතිං තවත් කුමන කතාද?

වසර හයකට වතාවක් පූර්ණ අලුත්වැඩියාවක් සිදු කළ යුතු තත්ත්වය තුළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි සහ තුන්වැනි අදියරේ ජනන යන්ත්‍ර දෙකෙහි අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ ඉකුත් වසරේදීය. එහෙත් අදටත් එකී අලුත්වැඩියා කටයුතු සිදුව නැත. අද දවසේ නොරොච්චෝලේ බලාගාරය රටම අඳුරට ඇද දැමිය හැකි අවදානම් තැනකට පත්ව තිබෙන බව අප කියන්නේ මේ තත්ත්වය හමුවේය.

එක් විදුලි ජනන යන්ත්‍රයක් දැනටත් අක්‍රීය වී තිබියදී මෙසේ අලුත්වැඩියා කටයුතු සිදු නොකොට තැබීම හමුවේ එකී යන්ත්‍ර දෙකින් එකක් වැරදීමකින් හෝ බිඳ වැටුණහොත් රටට අත්වන ඉරණම කුමක් වනු ඇතිද?

නොරොච්චෝලේ බලාගාරයේ උත්පාදනය කෙරෙන සමස්ත විදුලිය ප්‍රමාණය ඇත්තේ මෙගවොට් නවසියයක පමණ ප්‍රමාණයකය. අද දවසේ මෙරට විදුලි ඉල්ලුම අනුව වැඩිම උත්පාදනයක් සිදු කෙරෙන්නේ ද නොරොච්චෝලේ බලාගාරයෙනි. ඒ අනුව එහි දරුණු බිඳ වැටීමක් සිදු වුවහොත් රටේ දැවැන්ත විදුලි අර්බුදයක් මතුවන බව කාටවත් අමුතුවෙන් කියා දිය යුතු නැත. මෙහිදී ජලවිදුලියෙන් තත්ත්වය කළමනාකරණය කරගත හැකි වනු ඇතැයි ඇතැමෙකු කියන්නට ඉඩ ඇත. එහෙත් රටේ ජලාශවල ජලය එසේ ආවාට ගියාට ඕන ඕනෑ ආකාරයට භාවිතයට ගත නොහැකිය. කෘෂි කර්මාන්තය ඇතුළු කටයුතු සඳහා ද ජලය අත්‍යවශ්‍යය. එනිසා ඇතිවන වර්ෂා තත්ත්වයන් ආදිය සලකා බලමින් ජලවිදුලිය උත්පාදනය සිදුකෙරෙනුයේ පැහැදිලි ක්‍රමවේදයකට අනුවය. ඉකුත් දෙසැම්බර් 03 වැනිදා රටම එක තැන නවතිමින් කුමන්ත්‍රණකාරීව සිදු කෙරුණු විදුලිය බිඳ වැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් කැඩී යෑම හේතුවෙන් විදුලි ඉල්ලුම සපුරාලනු පිණිස මේ ක්‍රමවේදයෙන් බැහැරට යමින් ජල විදුලිය උත්පාදනය කිරීමට කටයුතු කෙරුණි.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ කුමක්ද? දිගින් දිගටම විදුලිය උත්පාදනය හමුවේ ජලාශ සිඳී යද්දී සිදු කෙරුණු විදුලිය කප්පාදුව අනුව පැය දහතුනක් දක්වා අඳුරේ සිටින්නට රටේ ජනතාව සිදු විය.

එය අපි ඉකුත් දිනවල සමස්තයක් ලෙස අත් වින්දෙමු. එසේ නම් නොරොච්චෝලේ බිඳ වැටීමකදී ජල විදුලියෙන් යැපෙන්නෙමුයි කීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නකි. සිදු විය යුතුව තිබෙන්නේ නිසි පරිදි සියල්ල ක්‍රියාත්මක වීමය. එහෙත් අද දවසේ විදුලිබල මණ්ඩලය තුළ නිරන්තරයේ කුමන්ත්‍රණකාරී ලෙස සිදු වෙමින් තිබෙන්නේ එසේ සිදු විය යුතු දේමය. එසේ සිදු විය යුතු දේ සිදු නොවන්නේ ඉහත කී ඉංජිනේරු මාෆියාව හෙවත් ත්‍රස්තවාදය හමුවේය. මේ වන විට විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් නියත වශයෙන්ම විදුලි බිල වැඩි කළ යුතු බවට කියවමින් සිටින්නෝද මොවුහුය.

රටේ ජනතාවට කරන්ට් වද්දවා පීඩනයට පත් කරමින් සියල්ල වනසනු ලබන භීෂකයන් පිරිසක් මෙසේ විදුලිබල මණ්ඩලයේ සමස්තය සිය ග්‍රහණයට ගෙන සිටියදී

ඔවුන්ගේම සුඛ විහරණය වෙනුවෙන් තව කොතෙක් කලක් මේ රටේ ජනතාව දුක් විඳිය යුතුද? නැත. තවත් එසේ සිදුවිය යුතු නැත. අප රටේ ජනතාවට සිහිපත් කරනුයේ සියල්ල සමඟ විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදයට ද එරෙහි වීමට සුදුසුම මොහොත දැන් උදා වී තිබෙන බවය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment